42.31%
17.27%
32.76%
October 12, 2023

‘මාර්ගගත ආරක්ෂාව’ පිළිබඳ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකර තිබේ.

මූලික දෝෂ සහිත මෙම පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගන්නා ලෙස විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය මීට පෙර රජයෙන් ඉල්ලා තිබිණි.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සිය පෙත්සමින් පෙන්වාදී ඇත්තේ, මෙම කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන උල්ලංඝණය කරන බවත්, එම නිසා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත කිරීමට අමතරව ජනමත විචාරණයක දී ජනතාවගේ අනුමැතිය ලබාගත යුතු වන බවත්ය.

පනත් කෙටුම්පතේ අඩංගු වැරදි සහ “ඔන්ලයින් ආරක්‍ෂක කොමිසමේ” පුළුල් බලතල ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ අයිතිවාසිකම් ක්‍රියාත්මක කෙරෙහි බලපෑමක් ඇති කරනු ඇතැයි ද පෙත්සම පවසයි.

මාර්ගගත (ඔන්ලයින්) ආරක්ෂණ පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 20කට වැඩි සංඛ්‍යාවක් ගොනුකර ඇති බව සදහන් වේ.

සමාජ මාධ්‍යය ඇතුළු අන්තර්ජාල අන්තර්ගතයන් වාරණය කළ හැකි ප්‍රතිපාදන ඇතුළත් මාර්ගගත (ඔන්ලයින්) ආරක්ෂණ පනත් කෙටුම්පත මහජන ආරක්‍ෂක ඇමැති ටිරාන් අලස් විසින් පසුගිය ඔක්තෝබර් 03 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

ජනාධිපතිවරයා පත්කරනු ලබන කොමිසමක් මගින් සමාජ ජාලාවල පළකෙරෙන අන්තර්ගතයන් වාරණයට ලක්කිරීම සහ ආණ්ඩුවට එරෙහිව අදහස් පළකරන පුද්ගලයන්ට දඬුවම් නියම කළ හැකි ප්‍රතිපාදන ඇතුළත් මෙම පනත් කෙටුම්පතට පාර්ශව රැසක දැඩි විරෝධය එල්ල විය.

42.31%
17.27%
32.76%