April 21, 2025

නව ත්‍රස්ත විරෝධී නීතියක් සම්මත කරගන්නා තෙක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමට ඇති හැකියාව පිළිබඳ යුරෝපා සංගමය රජයෙන් විමසා තිබුණ ද රජය තවමත් ඒ ගැන සාකච්ඡා කර නොමැති බව දැනගන්නට ලැබේ.

අනෙකුත් බටහිර බලවතුන් සමඟ එක්ව යුරෝපා සංගමය ඉල්ලා තිබුණේ දරුණු නීති සම්පාදනයක් ලෙස දක්වා ඇති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කරන ලෙසයි.

යුරෝපා සංගමයේ නියෝජිතයන්, රජය සමඟ මෑතකදී පැවති රැස්වීම්වලදී එය අත්හිටුවීමට ඇති හැකියාව පිළිබඳව ද විමසා ඇත.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කිරීම, යුරෝපා සංගම් කලාපයේ වෙළඳපොළට අපනයනයන් සිදු කිරීමේදී GSP+ වෙළඳ පහසුකම සඳහා සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාව සඳහා ඉදිරිපත් කරන ලද පූර්ව කොන්දේසියකි.

පසුගිය රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කිරීම සඳහා තාවකාලික තහනමක් පැනවීය.

ඔවුන් ත්‍රස්ත විරෝධී පනතක් හඳුන්වා දීමට පියවර ගෙන තිබිණි.

යුරෝපා සංගමය එම පනත ගැන සතුටු නොවූ අතර, එය ඊටත් වඩා දරුණු බව සඳහන් කළේය.

නව රජය ද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීමට පටන් ගෙන තිබේ.

රජය විසින් තාවකාලික තහනමක් සළකා බලනු ඇත්දැයි කළ විමසීමකට අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර ප්‍රකාශ කර ඇත්තේ රජය තවමත් ඒ ගැන සාකච්ඡා කර නොමැති බවයි.

කෙසේවෙතත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර ඒ වෙනුවට නව නීතියක් ‘කඩිනමින්’ හඳුන්වා දෙන බව ඔහු පැවසීය.

ඒ සඳහා කමිටුවක් කටයුතු කරමින් සිටින බව ද ඔහු සඳහන් කළේය.