October 15, 2024

කඩිනම් කිරීමට නියෝග කර ඇති ප්‍රමුඛ පෙළේ විමර්ශන හත හැරුණු විට අතීත අපරාධ සියල්ල විමර්ශනය කර වගකිවයුත්තන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවට රජය සහතික විය.

අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ජනමාධ්‍ය හමුවට එක්වෙමින්, Ceylonwire.lk නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් කියාසිටියේ පසුගිය අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කිරීමෙන් රජය වැළකී නොසිටින බවයි.

ඉහළ පෙළේ සිද්ධීන් හතක් සම්බන්ධයෙන් විමර්ශන කඩිනම් කරන ලෙස මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය වැඩබලන පොලිස්පතිවරයාට ලබාදී ඇති උපදෙස් පිළිබඳව කරන ලද විමසීමක් සම්බන්ධයෙන් පැහැදිලි කරමින් ඔහු මෙම අදහස් පළකළේය.

මහ බැංකු බැඳුම්කර මගඩිය, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර, ජනමාධ්‍යවේදී ඩී.පී.සිවරාම් පැහැරගෙන යෑම සහ ඝාතනය කිරීම, ලලිත් කුමාර් සහ කුගන් මුරුගානන්දන් අතුරුදන්වීම, උපකුලපති සිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත්ගේ අතුරුදන්වීම, දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය, වැලිගම ඩබ්ලිව් 15 හෝටලයෙන් පිටත වෙඩි තැබීමේ සිද්ධිය එම විමර්ශන වේ.

විජිත හේරත් අමාත්‍යවරයා පැවසුවේ, කඩිනම් කරන ලද පරීක්ෂණ හත යනු අවශ්‍ය තොරතුරු එක්රැස් කර ඇති, පරීක්ෂණ අවසන් වූ හෝ අවසන් කිරීමට අවම වැඩකටයුතු පමණක් අවශ්‍ය වන විමර්ශන බවයි.

මෙම නියෝගය මෙම විමර්ශන හතට පමණක් යැයි මින් අදහස් නොවන බව අවධාරණය කළ කැබිනට් ප්‍රකාශකවරයා, පසුගිය කාලයේ වාර්තා වූ ආර්ථික අපරාධ, ඝාතන, ජනමාධ්‍යවේදීන් අතුරුදන් කිරීම් ආදී සියලු සිද්ධීන් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවද අවධාරණය කළේය.

ඒ අනුව ඝාතනය කෙරුණු රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්, ජනමාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග සහ අතුරුදන් කෙරුණු බව පැවැසෙන කාටූන් ශිල්පී ප්‍රදීප් එක්නැළිගොඩ සම්බන්ධයෙන් පරීක්ෂණ අඛණ්ඩව පවත්වන බවද කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් තහවුරු කළේය.

එක්නැළිගොඩ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියාසිටියේ විමර්ශන අවසන් කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් පැවැත්වෙන බවයි.

“අපිට අලුතින් පරීක්ෂණයක් කරන්න අවශ්‍ය නැහැ. නමුත් අවශ්‍ය නම් අපට එය කළ හැකියි,” ඔහු වැඩිදුරටත් පැවැසීය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විධිමත් ක්‍රමානුකූල පරීක්ෂණ දැනටමත් ආරම්භ කර ඇති බව අමාත්‍ය විජිත හේරත් සඳහන් කළේය.

එම පරීක්ෂණ අවසන් වීමෙන් පසු අදාළ පරීක්ෂණ සහ ඊට වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් රජය විසින් මහජනතාවට නිකුත් කරන බව ද කැබිනට් ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

42.31%
17.27%
32.76%