April 29, 2025

මෙවර ජාතික වෙසක් මහෝත්සවය නුවරඑළිය අන්තර්ජාතික බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමටත්, මැයි මස 10 දින සිට 16 දින දක්වා වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත්කිරීමටත්, එම කාලසීමාව තුළ විවිධ බෞද්ධාගමික වැඩසටහන් සංවිධානය කර ක්‍රියාත්මක කිරීමටත් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා සහ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ජනමාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මේ බව ප්‍රකාශ කළේය.

මහානායක ස්වාමින් වහන්සේලාගේ සහ සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ අනුශාසනා පරිදි 2025 රාජ්‍ය වෙසක් උත්සවය බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේ දී පැවැත්වීම සුදුසු බවට හඳුනාගෙන තිබේ.

මෙම වර්ෂයේ රාජ්‍ය වෙසක් මහෝත්සවය “භජෙථ මිත්තෙ කල්‍යාණෙ – භජෙථ පුරිසුත්තමෙ” (කලණ ගුණ ඇති උතුම් මිතුරන් ඇසුරු කරමු) යන තේමාව යටතේ පැවැත්වීමට තීරණය කර ඇත.