December 15, 2024

පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේදී ආරම්භ කරන ලද ආන්දෝලනාත්මක අඩුමිලට සේවා සැපයූ ගුවන් සේවයක් වන මිහින් ලංකා සමාගමේ මූල්‍ය වගකීම් පිළිබඳ මේ සතියේ සාකච්ඡාවට නියමිත බව වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමැති ජනිත රුවන් කොඩිතුවක්කු පවසයි.

මිහින් ලංකා හි නොවිසඳී ඇති තත්ත්වය ගැන වද වීමට වඩා ඉදිරි සංචාරක සමය සඳහා සූදානම් වීමට රජය ප්‍රමුඛත්වය ලබාදෙන බව ද ඔහු ප්‍රකාශ කර තිබේ.

නියෝජ්‍ය ඇමැති කොඩිතුවක්කු පවසා ඇත්තේ මිහින් ලංකා සමාගමේ මූල්‍ය වගකීම් ගැටලුවක්ව පවතින අතරම සංචාරක වෙළෙඳපොළේ ඉල්ලීම් සපුරාලීම කෙරෙහි ක්ෂණික අවධානය යොමු වූ බවයි.

2007 දී පිහිටුවන ලද මිහින් ලංකා, 2016 ඔක්තෝබර් 30 වැනි දින මෙහෙයුම් නවතා දමමින්, එහි අවසන් කිරීමේ ක්‍රියාවලියට අදාළ සැළකිව යුතු ණය තවමත් දරයි.

මුදල් අමාත්‍යාංශයේ වසර මැද මූල්‍ය තත්ත්ව වාර්තාවට අනුව, ජුනි 30 වන විට, රුපියල් මිලියන 3,201.77ක් මිහින් ලංකා ලිමිටඩ් යටතේ ගෙවීමට ඉතිරිව පවතී.

“මිහින් ලංකා ප්‍රශ්නය කල් පවතින එකක්. නව සංචාරක සමය ආරම්භ වීමත් සමඟ අපගේ ප්‍රමුඛතාව වන්නේ ගුවන් තොටුපළ සහ එම පහසුකම් අපේක්ෂිත සංචාරක පැමිණීම් සමඟ කටයුතු කළ හැකි බව සහතික කිරීමයි. සංචාරක අවශ්‍යතා සපුරාලීම සඳහා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ ප්‍රමාණවත් ගුවන් ගමන් පහසුකම් සහතික කිරීම කෙරෙහි අපි අවධානය යොමු කළ යුතුයි, ”යනුවෙන් කොඩිතුවක්කු ප්‍රකාශ කර තිබේ.

මිහින් ලංකා ආශ්‍රිත තත්ත්වය ශ්‍රී ලංකාවේ ගුවන් සේවා අංශයේ මූල්‍ය අවභාවිතය පිළිබඳ පුළුල් ගැටලුවක එක් කොටසකි.

ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පෙර පාලනය යටතේ, වඩාත් දැරිය හැකි විකල්ප තිබියදීත්, ඩොලර් බිලියන 2.3ක වියදමින් නවතම ගුවන් යානා මිලදී ගැනීමේ ක්ෂණික සැලැස්මක් ඇතුළුව, ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිසංස්කරණය කිරීමට තීරණ ගනු ලැබීය.

වැලිඅමුණ කොමිසමේ වාර්තාවක් මගින් එම ක්‍ෂණික ක්‍රියාවලිය සම්බන්ධයෙන් අපරාධ විමර්ශනයක් ඉල්ලා තිබිණි.

උසස් නිලධාරීන්ගේ පෞද්ගලික පරිහරණය සඳහා සුඛෝපබෝගී වාහන බදු දීමේ ලේඛන ව්‍යාජ ලෙස සකස් කිරීම ඇතුළු වංචනික ක්‍රියාකාරකම් පිළිබඳ සාක්ෂි විමර්ශන මණ්ඩලය විසින් තවදුරටත් අනාවරණ කරගෙන තිබේ.

ඩොලර් මිලියන ගණනක පාඩු ලැබීමට තුඩු දුන් අසාර්ථක ගුවන් කුලී රථ සේවාවක් මේ යටතේ අනාවරණ වූ විශාල ගැටලු අතර වේ.

ප්‍රසම්පාදන ක්‍රියාවලීන් කළමනාකරණය කිරීම සඳහා කුලියට ගත් උපදේශකයන් අතර ඇති උනන්දුව පිළිබඳ ගැටුම්(conflicts of interest) නොසළකා හැරීමේ රටාවක් ද විමර්ශනය මගින් පෙන්වා දී ඇති අතර, එය දූෂිත ගනුදෙනු පිළිබඳ සැකයන් තවත් ඉහළ නංවයි.

ඉදිරි සතියේදී මිහින් ලංකා සමාගමේ අනාගතය පිළිබඳ සාකච්ඡා කිරීමට වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය අදහස් කරන බව නියෝජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ එම කාරණය මුළුමනින්ම බැහැර කර නොමැති බව පෙන්වමිනි.

42.31%
17.27%
32.76%