December 16, 2024

පාතාල ක්‍රියාකාරකම් සහ වෙඩි තැබීමේ සිද්ධීන් ඉහළ යෑමත් සමඟ දිගින් දිගටම සිදුවන ඝාතන මැඩලීමට කඩිනම් පියවර ගන්නා ලෙස තමන් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දුන් බව මහජන ආරක්‍ෂක ඇමැති ආනන්ද විජේපාල පවසයි.

පරීක්ෂණ සහ මෙහෙයුම් සඳහා අවශ්‍යනම් විශේෂ කාර්ය බළකාය සම්බන්ධ කර ගන්නා ලෙස ද ඔහු වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.

රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට දැඩි අභියෝගයක් එල්ල කරමින් පසුගිය දින කිහිපය තුළ වෙඩි තැබීමේ සිද්ධීන් කිහිපයක් වාර්තා විය.

පසුගිය සෙනසුරාදා මීගොඩ නාගහවත්ත ප්‍රදේශයේදී 32 හැවිරිදි පියකු සිය බිරිඳ සහ කුඩා දියණිය සමඟ ගමන් කරමින් සිටියදී වෙඩි තබා ඝාතනය කර තිබිණි.

නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු එල්ල කළ එම ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්විය.

වාසනාවකට මෙන්, ඔහුගේ පවුලේ සාමාජිකයන් කිසිදු හානියක් නොමැතිව දිවි ගලවා ගෙන තිබිණි.

එදිනම තවත් සිද්ධියකදී මාලිගාකන්ද ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවකු වෙඩි තබා පළා යෑමෙන් කාන්තාවක් බරපතළ තුවාල ලබා තිබිණි.

ඇය මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ.

මීටියාගොඩ – මහවත්ත ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ තවත් වෙඩි තැබීමක් සිදුව ඇති බව වාර්තා වේ.

ත්‍රිරෝද රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයන් තිදෙනෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

තුවාල ලැබූවන් බලපිටිය රෝහලට ඇතුළත් කර ඇත.

පසුගිය සතියේ ගම්පහ තම්මිට කවුඩංගහ හන්දියේදී 39 හැවිරිදි පුද්ගලයකුට වෙඩි තැබීමක් ද වාර්තා විය.

මෙම සිද්ධීන්වලට සම්බන්ධ ප්‍රහාරකයන් පළා යෑම සඳහා යතුරුපැදි භාවිත කර ඇති බව විමර්ශනවලදී අනාවරණ වී ඇත.

මෙම සිදුවීම් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඇමැති ආනන්ද විජේපාල පවසා ඇත්තේ මෙම සිද්ධීන් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර ඇති බවයි.

සෑම වෙඩි තැබීමක් පිළිබඳවම හොඳින් විමර්ශනය කර සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගන්නා ලෙස ඔහු වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.

තවද, මෙම ප්‍රචණ්ඩ ක්‍රියාවලට වගකිව යුතු අපරාධකරුවන්ට එරෙහිව කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම සහතික කිරීම සහ මෙහෙයුම් සඳහා සහාය වීමට විශේෂ කාර්ය බළකාය බලමුළු ගැන්විය හැකි බව ඔහු අවධාරණය කළේය.

 

42.31%
17.27%
32.76%