May 4, 2024

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 2021 වසරේ තම සමඟ කළ දුරකථන සංවාදයේදී ඔහු පැවසූ දේ ප්‍රතික්ෂේප කළ නොහැකි බව කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ අද ප්‍රකාශ කළහ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රකාශය ගැන සඳහන් කරමින් කාදිනල් හිමිපාණන් කියාසිටියේ, තමාට සමීප පුද්ගලයන්ට සහ සංගම්වලට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බැවින්, ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කළ නොහැකි බවට හිටපු ජනාධිපතිවරයා තමාට පැහැදිලිවම ප්‍රකාශ කළ බවයි.

“2021 පෙබරවාරි 2 වැනිදා හිටපු ජනාධිපතිවරයා මා සමඟ දුරකථනයෙන් කතා කළ බව මට සහ මගේ ලේකම්වරයාට තහවුරු කර ඔප්පු කළ හැකියි . පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය ගැන සොයාබැලූ ජනාධිපති කොමිසම නිර්දේශ කර ඇත්තේ ඉස්ලාමීය අන්තවාදී සංවිධාන තහනම් කිරීම පමණක් බව රාජපක්ෂ පසුගියදා ප්‍රකාශ කළා. ඉස්ලාමීය නොවන සංවිධානයක් ද තහනම් කරන ලෙස එම වාර්තාවේ පැහැදිලිව නිර්දේශ කර තිබෙනවා. හිටපු ජනාධිපතිවරයාට මේ කරුණු ප්‍රතික්ෂේප කරන්න බැහැ” කාදිනල් හිමිපාණන් නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියේය.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ බුද්ධි අංශ නිලධාරීන්ට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවටද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට කාදිනල් හිමියෝ චෝදනා කරති.

එමෙන්ම ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට වත්මන් රජය අපොහොසත් වී ඇති බවට මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ සඳහන් කරති.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට කොමිසම නිර්දේශ කර ඇතත් ඔහුට එරෙහිව පියවර නොගන්නේ මන්දැයි කාදිනල්වරයා ප්‍රශ්න කරති.

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සෑම දෙයක්ම වත්මන් ආණ්ඩුව තවදුරටත් යටපත් කරමින් සිටින බවද උන්වහන්සේ වැඩිදුරටත් පවසති.

42.31%
17.27%
32.76%