August 25, 2024

ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමේ වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් පවත්වාගෙන ගිය අයගේ අනන්‍යතාව Google සමාගම විසින් තවමත් අනාවරණ කර නොමැති බව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති රෝහණ ප්‍රේමරත්න පවසා තිබේ.

ශ්‍රී ලංකාවේ ජාතික ලාංඡනය සහ මැතිවරණ කොමිසමේ නම භාවිත කරමින් ලාංකික ප්‍රජාවගේ පෞද්ගලික තොරතුරු රැස් කිරීම සඳහා නිර්මාණය කර ඇති එක්සත් ජනපදය පදනම් කරගත් ගූගල් සේවාදායකයක් මත සත්කාරකත්වය සපයන ලද තතුබෑම් වෙබ් අඩවියක් අගෝස්තු 9 වැනි සිකුරාදා අනාවරණ වී තිබිණි.

එක්සත් ජනපදය පදනම් කරගත් Google සමාගම අගෝස්තු 12 වැනිදා ශ්‍රී ලංකාවේ පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (CERT) වෙත දන්වා තිබුණේ ඔවුන් එම අන්තර්ගතය ඉවත් කර ඇති බව තහවුරු කරන බවයි.

කෙසේවෙතත් Google වැනි සමාගම් වෙබ් අඩවි හිමිකරුවන්ගේ තොරතුරු හෙළි කරන්නේ කලාතුරකින් බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චාරුක දමුණුපොල සඳහන් කර ඇත.

මෙහිදී කළයුතු ප්‍රධානතම කරුණ නම් මහජනතාව දැනුවත් කිරීමයි.

“බොහෝ ව්‍යාජ වෙබ් අඩවි නිර්මාණකරුවන් සොරකම් කළ හැඳුනුම්පත් සහ ක්‍රෙඩිට් කාඩ් තොරතුරු භාවිත කරනවා. මෙම ව්‍යාජ වෙබ් අඩවිවලට ජාතික සංකේත අවභාවිත කරන ලිපි ඇතුළු ව්‍යාජ ලේඛන ඉදිරිපත් කළ හැකියි. ජනාධිපති, ජාතික කාර්යාලය හෝ ශ්‍රී ලංකා පොලිසිය වැනි නිල ආයතනවලින් එම ලේඛන පැමිණෙන බව පෙන්වන්නේ. මේ අතරින් මැතිවරණ කොමිසමට සමාන ව්‍යාජ වෙබ් අඩවිය වඩාත් භයානක ලෙස සළකන්න පුළුවන්.”යනුවෙන් දමුණුපොල පවසයි.

මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් සී රත්නායක පසුගිය සතියේ පවසා තිබුණේ අදාළ වෙබ් අඩවිය පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා Google බලධාරීන් සම්බන්ධ කර ගැනීමට අදහස් කරන බවයි.

මෙම තත්ත්වය මැතිවරණ කොමිෂන් සභාවට සහ ලාංකීය ජනතාවට සැළකි යුතු තර්ජනයක් විය හැකි බවත්, වෙබ් අඩවියේ නිර්මාතෘවරයාගේ අනන්‍යතාව අනාවරණය කර ගැනීමේ හැකියාව සොයා බැලීමට කටයුතු කරමින් සිටින බවත් ඔහු අවධාරණය කර තිබිණි.

ව්‍යාජ වෙබ් අඩවියක් නිර්මාණය කිරීම සඳහා රාජ්‍ය ලාංඡනය අවභාවිත කිරීම සැළකිව යුතු ජාතික ගැටලුවක් ලෙස නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න ද හඳුනාගෙන තිබේ.

එහි හදිසි අවශ්‍යතාව හඳුනා ගත් නියෝජ්‍ය පොලිස්පති ප්‍රේමරත්න මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටියේ විධිමත් ක්‍රමය වෙනුවට ඔවුන්ගේ ප්‍රකාශය වට්ස්ඇප් හරහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යවා ඔවුන්ගේ ප්‍රතිචාරය කඩිනම් කරන ලෙසයි.

එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් මැතිවරණ කොමිෂන් සභාව අවශ්‍ය ප්‍රකාශය ඉදිරිපත් කළ අතර සහකාර කොමසාරිස් පියුමි ආටිගල සිය වාචික ප්‍රකාශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබාදීමට කටයුතු කර තිබිණි.