February 23, 2024

ශ්‍රී ලංකාව තුළ ව්‍යාජ වෛද්‍ය ජාවාරම විශාල ලෙස සිදුවන බවත්, මෙම නීතිවිරෝධී වෛද්‍යවරුන් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය වගකිවයුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය(GMOA) පවසයි.

“ශ්‍රී ලංකාව තුළ, වෛද්‍ය ක්‍රමය දැඩි ලෙස නියාමනය කළ යුතු අතර, පුද්ගලයන්ට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව, ආයුර්වේද වෛද්‍ය සභාව හෝ හෝමියෝපති වෛද්‍ය සභාව තුළ වලංගු ලියාපදිංචියක් තිබිය යුතු අතර අවශ්‍ය සුදුසුකම් සපුරා තිබිය යුතුය. එවැනි ලියාපදිංචියකින් තොරව වෛද්‍යවරුන් ලෙස සේවය කරන අය ව්‍යාජ වෛද්‍යවරුන් ලෙස සලකනු ලබන අතර එය මහජන සෞඛ්‍යයට දැඩි අවදානමක් ඇති කරයි.” යැයි GMOA පෙන්වාදෙයි.

GMOA වැඩිදුරටත් මෙසේද පවසයි.

“වාර්තාවලට අනුව, මූලික වෛද්‍ය සුදුසුකම් නොමැති අය, අනවසර වෛද්‍ය ක්‍රමවල නිරත වීම සහ නීත්‍යානුකූල සෞඛ්‍ය සේවා වෘත්තිකයන් ලෙස පෙනී සිටීම ඇතුළුව වෛද්‍යවරුන් ලෙස වෙස් වළාගෙන සිටින විවිධ පුද්ගල කණ්ඩායම් තිබේ. සමීක්‍ෂණ ඇස්තමේන්තු කර ඇත්තේ එවැනි පුද්ගලයන් 40,000කට වඩා වැඩි සංඛ්‍යාවක් නීතිමය හිඩැස් උපයෝගී කරගනිමින් රටපුරා දඬුවම් විරහිතව ක්‍රියාත්මක වන බවයි.

මෙම උවදුර මැඩලීම සඳහා පවතින නීතිමය රාමුවක් පෙනෙන්නට තිබුණද, එම නීති බලාත්මක කිරීම සැලකිය යුතු අභියෝගයක් ලෙස පවතී.

ව්‍යාජ වෛද්‍යවරුන් හඳුනාගෙන නඩු පැවරීමට ඇති නීතිමය ප්‍රතිපාදන සහ මානව සම්පත් යන දෙකෙහිම හිඟයක් දැකගත හැකිය.

එමනිසා මෙම කාරණය සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාර, වාර්තා කිරීම සඳහා වෙන්කළ ක්ෂණික දුරකථන, නීති ප්‍රතිසංස්කරණ සහ වැටළීම් සිදුකිරීමට බලයලත් සෞඛ්‍ය නිලධාරීන්ගෙන් සමන්විත විශේෂිත බලාත්මක කිරීමේ කණ්ඩායම් වැනි ක්‍රියාමාර්ග අත්‍යවශ්‍ය වේ.”

කෙසේවෙතත්, මෙම අර්බුදය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ උදාසීන ප්‍රතිචාරය ගැන කණගාටු වන අතර, ගැටලුව විසඳීමේ හදිසි අවශ්‍යතාවයක් නොමැතිකම GMOA හෙළාදකී.

42.31%
17.27%
32.76%