February 18, 2024

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් meropenem නම් ප්‍රතිජීවකය භාවිත කිරීම සඳහා මෙතෙක් අවසර ලබා දී නොමැති බව වාර්තා වේ.

එසේම තවත් ප්‍රතිජීවකයක් වන co-amoxiclavහි කාණ්ඩ දෙකක වීදුරු අංශු සොයා ගැනීමෙන් පසු ඒවා වෛද්‍ය සැපයුම් අංශය විසින් නැවත කැඳවා තිබේ.

වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය පැවසුවේ මෙම මස මුලදී රිජ්වේ ආර්යා ළමා රෝහලේ Co-amoxiclav කාණ්ඩ දෙකකින් වීදුරු අංශු සොයාගැනීමෙන් පසුව වෛද්‍ය සැපයුම් අංශය විසින් ඒවා නැවත කැඳවූ බවයි.

මේ අතර,රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී ඩී. දසනායක පැවසුවේ, meropenem ආනයනය සම්බන්ධයෙන් ද ගැටලුවක් මතුව ඇති බවයි.

“meropenem ආනයනයට පෙර කළ නියැදි පරීක්ෂණයකින් මුලින් අසාර්ථක වුණා. නිෂ්පාදකයා විසින් එය මතභේදයට ලක්කළ නිසා පසුව ස්වාධීන රසායනාගාරයක් හරහා තවත් පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය වුණා. කෙසේවෙතත්, දෙවැනි පරීක්ෂණ ප්‍රතිඵල ලැබීමට පෙර, නිෂ්පාදකයා විසින් එම ඖෂධය අප වෙත නැව්ගතකර තිබුණා ”යැයි දසනායක පැවසීය.

ඖෂධ දෙකම එකම නිෂ්පාදකයා විසින් නිෂ්පාදනය කර ඇති අතර, meropenem නැව්ගත කිරීම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් ඉන්දියානු ණය ක්‍රමය යටතේ ආනයනය කර ඇති බව වෛද්‍ය විජේසූරිය සඳහන් කළේය.

දසනායක පවසන පරිදි, දෙවැනි නැව්ගත කිරීමේදී නියැදි පරීක්ෂණ ප්‍රතිඵල ලැබීමට පෙර meropenem නැව්ගත කර තිබූ බැවින්, පසුගිය මාස හතරක කාලය තුළ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට එම නැව්ගත කිරීම ඉවත් කිරීමට නොහැකි වීම නිසා එම ඖෂධ ගබඩා කර තිබුණේ කොළඹ වරායේය.

“ස්වාධීන රසායනාගාරයෙන් පවත්වන ලද දෙවැනි පරීක්ෂණයෙන් ඖෂධ සමත් වූ නමුත් පසුගිය මාස හතරක කාලය තුළ ඖෂධ ගබඩාවේ තිබූ බැවින් එය භාවිතයට සුදුසු දැයි තීරණය කිරීමට තවත් තත්ත්ව පරීක්‍ෂණයක් කළ යුතුයි. ඒ නිසා, මේ වන විට එය කොන්දේසි සහිතව නිෂ්කාශනය කර තිබෙනවා. නැව්ගත කිරීම පිළිබඳ විශ්ලේෂණ වාර්තාවක් සපයන ලෙස අපි ජාතික ඖෂධ තත්ත්ව සහතික කිරීමේ රසායනාගාරයෙන් ඉල්ලා සිටිනවා. එය කළ නොහැකි නම්, අපට එය ඉන්දියාවේ පිළිගත් රසායනාගාරයකින් පරීක්ෂා කිරීමට සිදුවනවා ” යැයි දසනායක පැවසීය.

අදාළ ඖෂධ තොගය සඳහා තවමත් ගෙවීමක් කර නොමැති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

කෙසේවෙතත් මෑතකදී නැවත කැඳවූ co-amoxiclav කාණ්ඩ දෙක ආනයනය කිරීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සම්බන්ධ වී නොතිබූ බව දැනගන්නට තිබේ.

එම ඖෂධය සැපයීමට නියමිතව සිටි දේශීය නිෂ්පාදකයාට එය සැපයීමට නොහැකිව වෙනත් නිෂ්පාදකයකුගෙන් එම ඖෂධය ලබාගෙන ඇති බව තතුදත් ආරංචි මාර්ග පැවසීය.

2022 වසරේ ආර්ථික අර්බුදයෙන් පසු ශ්‍රී ලංකාව ගුණාත්මක බැවින් අඩු ඖෂධ පිළිබඳ ගැටලු මාලාවකට මුහුණදෙමින් සිටී.

ඒ අතර ප්‍රධාන වන්නේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පසුගිය වසරේ භාවිතය සඳහා ගනු ලැබූ ව්‍යාජ immunoglobulinහේතුවෙන් රෝගීන්ට අහිතකර ප්‍රතික්‍රියා ඇති වීමයි.

හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ඇතුළු තවත් සැකකරුවන් හත්දෙනෙකු මෙම වංචාවට සම්බන්ධ බවට චෝදනා එල්ල වීම මත ඔවුන් 08 දෙනාම පෙබරවාරි 29 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

 

42.31%
17.27%
32.76%