51.99%
17.7%
23.19%
August 26, 2024

ශ්‍රී ලංකාවේ ‘රාමායණ මංපෙත’ මැලේසියාවේ සංචාරකයන් අතර ප්‍රවර්ධනය කිරීමේ මාර්ග ගවේෂණය කිරීම සඳහා ක්වාලාලම්පූර් හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය මැලේසියානු – ඉන්දියානු සංචාරක සංගමය සමඟ ඵලදායී සාකච්ඡා වටයක් පවත්වා ඇත.

ඉන්දියානු-මැලේසියානු සංචාරක ආයතන 200 කට අධික සංඛ්‍යාවක් ඇතුළත් එම සංගමය, දෙමළ කතා කරන සංචාරකයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමුකරමින් මෙරට සංචාරක ව්‍යාපාරය ඉදිරියට ගෙනයෑම සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටුකරන බව ක්වාලාලම්පූර් හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ අනුව මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් එයාර් චීෆ් මාර්ෂල් (විශ්‍රාමික) සුමංගල ඩයස්, මැලේසියානු – ඉන්දියානු සංචාරක සංගමයේ නියෝජිතයන් හමුවී 2024 ජූලි මාසයේදී ක්වාලාලම්පූර් සෙලන්ගෝර් ඉන්දියානු වාණිජ හා කර්මාන්ත මණ්ඩලය සමඟ මීට පෙර සාකච්ඡා ආරම්භ කරන ලද බව එම නිවේදනයේ සඳහන් වේ.

ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර සංචාරක ව්‍යාපාරයේ වර්ධනය වන විභවයන් පිළිබඳව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා අවධාරණය කර ඇති අතර, පසුගිය වසරේ මැලේසියානු සංචාරකයින් 10,000 ක් පමණ ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ශ්‍රී ලාංකික සංචාරකයන් 60,000 ක් පමණ ද මැලේසියාවට ගිය බව ඔහු සඳහන් කරයි.

විශේෂයෙන්ම රාමායණ වීර කාව්‍යය හරහා ඓතිහාසික සම්බන්ධතා ඇති, ඉන්දියානු සම්භවයක් පවතින මැලේසියානු සංචාරකයන් සඳහා ශ්‍රී ලංකාව සිත් ඇදගන්නා සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රක්ෂේපණය කිරීමට මෙය සුවිශේෂී අවස්ථාවක් සපයන බව පැවැසේ.

රැස්වීම අතරතුර, ශ්‍රී ලංකාවේ ඓතිහාසික ස්මාරක සහ රාමායනයට සම්බන්ධ හින්දු දෙවිවරුන් ප්‍රදර්ශනය කරමින් රාමායණ මංපෙත පිළිබඳ වීඩියෝ වාර්තා චිත්‍රපටයක් ප්‍රදර්ශනය කර තිබේ.

51.99%
17.7%
23.19%