October 31, 2023

පාසල්වල සහ පොදු ප්‍රවාහන සේවාවල සී.සී.ටී.වී. (CCTV) කැමරා පද්ධති සවිකිරීමට පියවර ගන්නා ලෙස ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමැතිනි ගීතා කුමාරසිංහ අදාළ බලධාරීන්ගෙන් ඉල්ලීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

පාසල්වල සහ පොදු ප්‍රවාහන සේවාවල ළමුන් නිතර අපයෝජනයට ලක්වීමේ සිදුවීම් රජය දැඩි අවධානයට ලක්කර ඇති බව ඇය සඳහන් කරයි.

”මෙවැනි සිදුවීම් සෑම පාසලකම සිදුවන බව මම කියන්නේ නෑ. නමුත් පාසල්වල ඇතැම් ගුරුවරුන් විසින් ළමයින්ට ලිංගික අපයෝජන සිදුකිරීමේ සිද්ධීන් ඕනෑතරම් සිදුවී තිබෙනවා. මීට අමතරව, පොදු ප්‍රවාහන සේවා තුළ ළමුන් සහ කාන්තාවන් නිතර ලිංගික අපයෝජනයට ලක්වෙනවා. මෙවැනි බොහෝ සිද්ධීන් සනාථ කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැතිවීම බරපතළ ප්‍රශ්නයක්. ප්‍රමාණවත් සාක්ෂි නොමැතිකම නිසා අපරාධකරුවන් නීතියෙන් ගැලවීම, මෙවැනි අපරාධවලට ගොදුරුවූවන්ට බරපතළ අසාධාරණයක්.

බොහෝ විට මෙවැනි සිදුවීම් පාසල්වල සහ පොදු ප්‍රවාහන සේවාවල සිදු වූ විට ඒවා ඔප්පු කිරීමට අපහසුයි. එය අදාළ නීතිමය කටයුතුවලට විශාල බාධාවක්. අවසානයේ සිදුවන්නේ වැරදිකරුවන්ට දඬුවම් නොලැබීමයි. අදාළ සියලුම ආයතන, විශේෂයෙන් වෙන වෙනම ක්‍රියාත්මක වන අමාත්‍යාංශ, එකමුතු වී දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කළ යුතුයි. විශේෂයෙන්ම පාසල්වල සහ පොදු ප්‍රවාහන වාහනවල CCTV කැමරා පද්ධති සවිකරන ලෙස අදාළ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වෙනවා.

මෙම පියවරට ඇතැම් පාර්ශ්ව විරුද්ධ වන බව මම දන්නවා. නමුත් පාසල් යනු රහසිගතව පැවතිය යුතු ස්ථාන නෙවෙයි. එබැවින් ඒවායේ කැමරා සවිකිරීමෙන් කිසිවෙකුට අසාධාරණයක් වන්නේ නෑ.” යැයි රාජ්‍ය ඇමැතිවරිය වැඩිදුරටත් සඳහන් කරයි.(The Morning)

42.31%
17.27%
32.76%