December 9, 2024

ලොව දුප්පත්ම සහ භයානක ප්‍රදේශයක් ලෙස සළකනු ලබන හයිටියේ සයිට් සොලෙයිල් ප්‍රදේශයේ විශාල මුඩුක්කු නිවාස පිහිටි ප්‍රදේශයක මැර කල්ලි නායකයකු විසින් වැඩිහිටි පුද්ගලයන් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ලකර තිබේ.

විදෙස් ජනමාධ්‍ය පැවසුවේ, ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයන් 110 දෙනෙකු පමණ මියගොස් ඇති බවයි.

එරට ජාතික මානව හිමිකම් ආරක්ෂක ජාලය පවසන පරිදි ‘මායා කර්මයක්’ මගින් තම දරුවාට අසනීපයක් ඇති කළ බවට සැකකෙරෙන පුද්ගලයකු ඉලක්ක කර එම කල්ලි නායකයා මෙම ඝාතන සිදුකර ඇත.

මොනෙල් ෆීලික්ස් නමැති කල්ලි නායකයා සහ ඔහුගේ Viv Ansanm කණ්ඩායම සමූල ඝාතනයට වගකිව යුතු බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.

ෆීලික්ස්ගේ දරුවා අසනීප වූ පසු, ඔහු වෝඩූ පූජකයෙකුගෙන් උපදෙස් පැතූ බවත්, එම ප්‍රදේශයේ වයෝවෘද්ධ පුද්ගලයන් මායා කර්මයක්(හූනියමක්) මගින් දරුවාට හානිකළ බවට එහිදී චෝදනා එල්ල වීම, ෆීලික්ස් සමූල ඝාතනයට අණ දීමට පොළඹවා ඇති බවත් සඳහන් වේ.

මැර කල්ලි සාමාජිකයන් සිකුරාදා අවම වශයෙන් පුද්ගලයින් 60 ක් සහ සෙනසුරාදා තවත් පුද්ගලයින් 50 දෙනෙකු පිහිඇනුම් සිදු ඝාතනය කර ඇති අතර ඔවුන් සියල්ලන්ම වයස අවුරුදු 60ට වැඩි බව වාර්තා වේ.

පෝට්-ඕ-ප්‍රින්ස් අගනුවර වරාය අසල ජනාකීර්ණ මුඩුක්කුවක් වන සයිට් සොලෙයිල්, හයිටියේ දුප්පත්ම සහ ප්‍රචණ්ඩකාරී ප්‍රදේශ අතරට අයත් වේ.

ජංගම දුරකථන භාවිතය සීමාකිරීම ඇතුළු දැඩි කල්ලි පාලනය, සංහාරය පිළිබඳ තොරතුරු බෙදාගැනීමට ප්‍රදේශවාසීන්ට ඇති හැකියාව සීමා කිරීමට හේතු වී තිබේ.

මැර කල්ලියේ ප්‍රධානියා වන ෆීලික්ස්ට 2022 දී අසල්වැසි ඩොමිනිකන් ජනරජයට ඇතුළු වීම තහනම් කර තිබේ.

42.31%
17.27%
32.76%