December 2, 2023

ශ්‍රී ලංකාවේ ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජනතාවගේ පුරවැසිභාවය පිළිබඳ ගැටලු විසඳීම සඳහා ඉන්දියාව ශ්‍රී ලංකාව සමග ගිවිසුම් (1964 සිරිමා-ශාස්ත්‍රී ගිවිසුම සහ 1974 සිරිමා-ගාන්ධි ගිවිසුම) අත්සන් කර අඩ සියවසක් ගත වී ඇතත්, ඉන්දීය රජය තවමත් එම ගිවිසුම් වගකීම් ඉටු නොකළ බව මදුරාසි මහාධිකරණයේ මදුරෙයි විනිසුරු මඩුල්ල නිරීක්ෂණ කර තිබේ.

“ශ්‍රී ලංකාවෙන් ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජනතාව ලක්ෂ හයකට නොඅඩු පිරිසකට නැවත ගෙන්වා ගැනීමට සහ පුරවැසිභාවය ලබා දීමට ඉන්දියාව බැඳී සිටියද, අද වන විට ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජනතාවගෙන් 461,639කට පමණක් ඉන්දීය පුරවැසිභාවය ලබා දී ඇත,” යැයි විනිසුරු ස්වාමිනාදන් පැවසීය.

ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 51 වැනි වගන්තිය මගින් සංවිධානාත්මකව සිදුකරන පුද්ගල ගනුදෙනු කිරීමේ ගිවිසුම්වලදී ඒවාට ගරු කිරීමට රජය උත්සාහ කළ යුතු බව පෙන්වා දුන් විනිසුරුවරයා, ඒ අනුව ඉහත ගිවිසුම් සපුරාලීමට ඉන්දියාවට ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජනතාව 137,000කට නොඅඩු පිරිසකට පුරවැසිභාවය පිරිනැමීමට සිදුවනු ඇති බව ප්‍රකාශ කළේය.

ඉන්දීය පුරවැසිභාවය ඉල්ලා ටී.ගනේෂන් විසින් ගොනු කරන ලද පෙත්සමක් සම්බන්ධයෙන් නියෝග නිකුත් කරමින් විනිසුරුවරයා මේ බව ප්‍රකාශ කළේය.

මේ අනුව තමන්ගේම භූමියේ ‘සරණාගතයෙකු’ ලෙස හැඳින්වූ ශ්‍රී ලංකාවෙන් ආපසු පැමිණි 70 හැවිරිදි පුද්ගලයාට අවසානයේ වසර 33කට පසු නව ජීවිතයක් ලැබී තිබේ.

ගනේෂන්ගේ පුරවැසි බව ‘ඉන්දියානු පුරවැසියා’ ලෙස හඳුනා ගැනීමට ඉන්දීය රජයට උපදෙස් දුන් විනිසුරුවරයා, ඔහු සහ ඔහුගේ පවුලේ අය පුනරුත්ථාපනය කිරීමට නියෝග කළේය.

ගනේෂන්ගේ අධිනීතිඥ රෝමියෝ රෝයි ඇල්ෆ්‍රඩ් කියා සිටියේ මෙම නියෝගය “තම මව්බිමේ සරණාගතයන්’ යන ලේබලය තුළ ජීවත් වන ඉන්දියානු සම්භවයක් ඇති දෙමළ ජනතාවට ආලෝකයක් ලබා දෙන වැදගත් සන්ධිස්ථානයක් බවයි.

“තමිල්නාඩුවේ සරණාගත කඳවුරු 104ක් පවතින අතර, ශ්‍රී ලාංකිකයන් 57,000කට අධික සංඛ්‍යාවක් සිටිති. ඔවුන්ට අමතරව සරණාගතයින් 34,000ක් කඳවුරුවලින් පිටත ජීවත් වෙති. කඳවුර තුළ සිටින සරණාගතයින්ගෙන් අඩක්වත් සහ කඳවුරුවලින් පිටත ජීවත්වන සරණාගතයන්ගෙන් 80%ක් ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජාතිකයන් විය හැකිය. ” යනුවෙන් ඇල්ෆ්‍රඩ් ප්‍රකාශ කරයි.

මේ සියලු දෙනාටම ඉන්දීය පුරවැසිභාවය ලබාදුන්නද එය 1964 සහ 1974 ගිවිසුම්වලදී ඉන්දීය රජය එකඟ වී ඉටු නොකළ සංඛ්‍යාවට වඩා අඩු වනු ඇතැයිද ඔහු වැඩිදුරටත් පැවසීය.

ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජාතිකයන් හඳුනාගැනීම සඳහා රජය විසින් පසුගියදා සරණාගත කඳවුරුවල මූලික සමීක්ෂණයක් සිදු කළ අතර මූලික දත්තවලට අනුව පවා එම කාණ්ඩයට අයත් රැඳවියන් 5,130කට ආසන්න සංඛ්‍යාවක් සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජාතිකයන් හඳුනාගෙන ඔවුන්ට ඉන්දියානු පුරවැසිභාවය ලබා දීම සඳහා පූර්ණ සමීක්ෂණයක් පවත්වන ලෙස ඔහු මධ්‍යම සහ ප්‍රාන්ත රජයන්ගෙන් ඉල්ලා සිටියේය.

කළු ජූලිය සමූලඝාතනය හේතුවෙන් ඔවුන් සිය මව්බිමට ගෙන ඒමේ උත්සාහයන් ඉන්දීය රජය විසින් අත්හිටුවා දමා දශක ගණනාවක් තම භූමියේ සරණාගත කඳවුරුවල ගතකිරීමට බලකෙරුණු ගනේෂන් වැනි අයට සාධාරණය ඉටුවන්නේ එවිට බව ඔහු වැඩිදුරටත් පැවසීය.

දශක ගණනාවක් තිස්සේ ඉන්දීය පුරවැසිභාවය ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයින්ට වත්මන් නියෝගය මගින් මංපෙත් ශක්තිමත් වනු ඇතැයි ද ඔහු විශ්වාසය පළ කළේය.

ගනේෂන් 1954දී උපත ලැබුවේ ශ්‍රී ලංකාවේ තේ වතු රැකියාවක නිරත වූ ඉන්දියානු සම්භවයක් ඇති දෙමළ පවුලකය.

ඔහු වයස අවුරුදු 16ක් සපිරුණු පසු 1970 දී විදේශ ගමන් බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කර ඇත.

කෙසේවෙතත්, මහනුවර, ඉන්දියාවට අනුයුක්ත/සහාකාර මහ කොමසාරිස් කාර්යාලය ඔහුට විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කළේ 1982 අගෝස්තු 22 වැනිදාය.

1984දී ඉන්දීය රජය විසින් මොවුන් නැවත ගෙන්වා ගැනීමේ මෙහෙයුම තාවකාලිකව නතර කළ නිසා ගනේෂන් සහ ඔහුගේ පවුලේ අයට 1990 දී ඔවුන්ගේම උත්සාහයෙන් ඉන්දියාවට පලා යාමට සිදු විය.

කෙසේ වෙතත්, ගනේෂන්ගේ ‘ඉන්දියානු පුරවැසි’ තත්ත්වය පිළිගැනීම ඉන්දීය රජය ප්‍රතික්ෂේප කළේය.

ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය සත්‍ය බව පිළිගත් නමුත් විදේශ ගමන් බලපත‍්‍රයේ ඇති ඡායාරූපය බොහෝ බාල අයෙකුගේ බව ප‍්‍රකාශ කර (අයදුම් කරන අවස්ථාවේ ගනේෂන් ඉදිරිපත් කළ ඡායාරූපයකි) එම ලේඛනය නිකුත් කළ බව සනාථ කිරීමට අවසන් සාක්ෂි රැගෙන එන ලෙස ඔහුට දන්වා ඇත.

මේ හේතුවෙන් ගනේෂන්ට තම පුරවැසිභාවය ඔප්පු කර ගැනීමට නොහැකි වූ අතර පසුගිය වසර 33ක කාලයක සිට මුණුබුරන් ඇතුළු පවුලේ අය සමඟ කරූර්හි සරණාගත කඳවුරේ ජීවත් වේ.

ස්වාමිනාදන් විනිසුරුවරයා සඳහන් කළේ, “විදේශ ගමන් බලපත්‍රය නිකුත් කිරීම ස්වෛරී ක්‍රියාවක්. විදේශ ගමන් බලපත්‍රයේ අව්‍යාජභාවය පිළිබඳ සැකයක් නොමැති විට, එහි ඇති ඡායාරූපය හිමිකම් කියන තැනැත්තා සමඟ ගැළපීම සිදු කළ යුත්තේ අදාළ අධිකාරියට පමණි. මෙය වෙනස් කළ නොහැක. ගනේෂන් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ‘ඉන්දීය පුරවැසියන්’ ලෙස හඳුනාගෙන ඔහු වැනි නැවත මෙරටට පැමිණි අය සඳහා රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද සහන සහ පුනරුත්ථාපන ක්‍රියාමාර්ග ඔවුන්ට ලබා දෙන ලෙස රජයට නියෝග කරනවා” යනුවෙනි.