April 16, 2025

ගම්පහ පොදු බස් නැවතුම්පොළ අසල ඊයේ (15) රාත්‍රියේ සිදු වූ වෙඩිතැබීමේ සිද්ධිය, ප්‍රතිවාදී අපරාධ කල්ලි දෙකක් අතර පවතින ආරවුලකට සම්බන්ධ ඉලක්කගත පළිගැනීමේ ප්‍රහාරයක් බවට පොලිසිය සැකකරයි.

පොලිසියට අනුව, යතුරුපැදියකින් පැමිණි හඳුනානොගත් පුද්ගලයන් දෙදෙනකු ගමන් කරමින් සිටි කුඩා ලොරි රථයකට වෙඩිතබා ඇත.

වෙඩිතැබීම සිදුවන අවස්ථාවේදී, ලොරි රථයේ ගමන් කළ පුද්ගලයන් දෙදෙනා වාහනයෙන් බැස අසල පිහිටි වෙළඳසැලකට දිවගිය බව පොලිසිය පවසයි.

ඔවුන්ගෙන් කිසිවකුට තුවාල සිදුවී නොමැති බව පොලිසිය තහවුරු කරයි. සිද්ධියෙන් වාහනයට පමණක් හානි සිදුවිය.

ප්‍රහාරකයින් කුප්‍රකට පාතාල අපරාධකරුවකු වන ‘ගනේමුල්ල සංජීව’ ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙකු වන ‘අවිශ්ක මල්ලි’ගේ සමීප ඥාතියකු ඉලක්ක කර ගෙන ඇති බවට විමර්ශනවලින් හෙළිව තිබේ.

ඉලක්කය යැයි සැලකෙන පුද්ගලයාට කිසිදු අපරාධ වාර්තාවක් නොමැති බව පොලිසිය තහවුරු කරයි.

ගම්පහ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති අතර ඊට සම්බන්ධ සැකකරුවන් හඳුනාගැනීමට මේ වන විට කටයුතු කරමින් සිටී.