April 22, 2025

2019 පාස්කු ඉරිදා සිදු වූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය හෙවත් FBI ආයතනය එම ප්‍රහාරයේ මහ මොළකරු සහ්රාන් හෂීම් බව සඳහන් කර තිබේ.

FBI විශේෂ නියෝජිත මෙරිලී ආර්. ගුඩ්වින් 2020 දෙසැම්බර් 11 වන දින ලොස් ඇන්ජලීස් හි එක්සත් ජනපද දිස්ත්‍රික් අධිකරණයේ ගොනු කරන ලද අපරාධ නඩුවට අදාළ දිවුරුම් ප්‍රකාශයක සඳහන් කර ඇත්තේ ඔහු ඇතුළු තවත් බොහෝ දෙනෙකුට මරු කැඳවූ බෝම්බ පිපිරීමට පෙර, ජහ්රාන් මොහොමඩ් කාසිම් හෙවත් මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් හෙවත් සහ්රාන් හෂීම් පාස්කු ඉරිදා ප්‍රහාර පිටුපස සිටි මහ මොළකරු සහ ශ්‍රී ලංකාවේ ISIS හි ස්වයං ප්‍රකාශිත නායකයා වූ බවයි.

මෙය නැවත වරක් ප්‍රවෘත්තිවල පළ වී ඇත්තේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අදාළ දිවුරුම් ප්‍රකාශයේ පිටපතක් දේශීය මාධ්‍ය සමඟ බෙදාගෙන එය ඔහුගේ වෙබ් අඩවියේ පළ කිරීමත සමගය.

ක්‍රිස්තියානි පල්ලි සහ බටහිර ජාතිකයන් නිතර පැමිණෙන සුඛෝපභෝගී හෝටල් ඉලක්ක කරගත් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් පසුව ශ්‍රී ලංකා බලධාරීන්ට සහාය වෙමින් FBI ආයතනය විසින් වසර දෙකකට ආසන්න කාලයක් සිදු කරන ලද විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස මෙම හෙළිකිරීම සිදුකර ඇත.

ප්‍රහාරයේදී පුද්ගලයන් 268 දෙනෙකු මිය ගිය අතර 500කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.

මියගිය අය අතර අමෙරිකානු පුරවැසියන් පස් දෙනෙකු ද විය.

ඔවුන්ගේ වාර්තාවට අනුව ශ්‍රී ලාංකික පුරවැසියන් තිදෙනෙකුට ත්‍රස්තවාදී වැරදි සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ.

නම් කරන ලද විදේශීය ත්‍රස්තවාදී සංවිධානයකට (ISIS) ද්‍රව්‍යමය සහාය ලබා දීමට කුමන්ත්‍රණය කිරීම ඊට ඇතුළත් වේ.

මෙම පුද්ගලයින් ‘ශ්‍රී ලංකාවේ ISIS’ ලෙස හැඳින්වූ ISIS ආධාරකරුවන් කණ්ඩායමක පිරිසකි.

FBI වාර්තාවට අනුව, සහ්රාන් සිරියාවේ ISIS නායකත්වය සමඟ සන්නිවේදනය කර ISIS අනුබද්ධිත ආයතනයක් ලෙස ක්‍රියාත්මක වීමට අනුමැතිය ලබාගෙන ඇත.

ප්‍රහාරයෙන් පසු, ඒ පිළිබඳ විමර්ශන සඳහා එවක ශ්‍රී ලංකා රජය එක්සත් ජනපදයෙන් සහාය ඉල්ලා සිටියේය.

පැය කිහිපයක් ඇතුළත FBI ආයතනය ශ්‍රී ලංකා බලධාරීන්ට සහාය වීමට සහ පරීක්ෂණ පැවැත්වීමට කාර්ය මණ්ඩලය යෙදවීය.

FBI සාක්ෂි රැස් කර ප්‍රහාරකයන් සහ ඔවුන්ගේ සහචරයන් හඳුනා ගත්තේය.

තුවාල ලැබූ අමෙරිකානුවන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සහ මියගිය එක්සත් ජනපද පුරවැසියන් පස් දෙනෙකු නැවත රැගෙන යෑම සම්බන්ධීකරණය ද කළේය.

FBI විශේෂ නියෝජිත මෙරිලි ආර්. ගුඩ්වින්, එක්සත් ජනපදයේ කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් මගින් එය දැනුම් දුන්නේය.

ISIS ඇතුළු නම් කරන ලද විදේශීය ත්‍රස්තවාදී සංවිධාන සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සම්බන්ධයෙන් තමාට පුළුල් අත්දැකීම් ඇති බව ඔහු අධිකරණයට දැනුම් දුන්නේය.

“මෙම විමර්ශන පිළිබඳ මගේ කාර්යයෙන්, ත්‍රස්තවාදීන් විසින් භාවිත කරන සංවිධානාත්මක සහ මෙහෙයුම් උපාය මාර්ග, අරාබි යෙදුම් ඇතුළුව ඔවුන් භාවිත කරන ස්වභාෂාව සහ ඉස්ලාමීය දෘෂ්ටිවාදය මම ඉගෙන ගෙන තිබෙනවා. එක්සත් ජනපද ජාතිකයන්ට එරෙහි ත්‍රස්ත ප්‍රහාර සහ අපරාධ විමර්ශනය කිරීම සඳහා මම කිහිප වතාවක් විදේශයන්හි සේවය කර තිබෙනවා. එම භූමිකාව තුළ, මම අපරාධ ස්ථාන සකස් කර, සාක්ෂි එකතු කර, සම්මුඛ සාකච්ඡා පවත්වා තිබෙනවා,” යනුවෙන් ඔහු දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කර තිබේ.