April 4, 2024

මත්පැන් බලපත්‍ර නිකුත්කිරීම අභියෝගයට ලක්කිරීම සඳහා පුරවැසියකු විසින් මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිකරණ බලය ඉල්ලා සිටීම හෙළාදකිමින් ඇතැම් මන්ත්‍රීවරුන් විසින් මෑතකදී කරනලද ප්‍රකාශයන් පිළිබඳ ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) දැඩි කණස්සල්ල පළකර තිබේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වාදෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් දක්වා ඇති පරිදි රටේ ඉහළම අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සහන පැතීමට සෑම පුරවැසියකුටම මූලික අයිතිවාසිකමක් ඇති බැවින් පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී මෙම අයිතිය කප්පාදු කළ නොහැකි බවයි.

ඒ අනුව මෙම මන්ත්‍රීවරුන් වෙනත් ආකාරයකින් යෝජනාකර ඇති ප්‍රකාශ ඔවුන් තරයේ හෙළාදැක තිබේ.

ඊයේ නිකුත් කළ නිවේදනයක් මගින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ප්‍රකාශකර තිබුණේ පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිත කරමින් සෘජුව හෝ වක්‍රව අධිකරණයේ ස්වාධීනත්වයට බාධා කිරීමට ගන්නා ඕනෑම උත්සාහයක් පිළිබඳව දැඩි අවධානයෙන් සිටින බවයි.

අධිකරණයේ ස්වාධීනත්වය දුර්වල කිරීමට උත්සාහ කරන විට කිසිඳු තත්ත්වයක් යටතේ නිහඬව නොසිටින බවද ඔවුන් අවධාරණය කර තිබේ.

එම සංගමය පවසන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් නීතියේ ආධිපත්‍යය හා යුක්තිය නිසි ලෙස පරිපාලනය කිරීම අඩපණ කරන ප්‍රකාශ කිරීමේ මෑතකාලීන ප්‍රවණතාව දැඩි ලෙස කරදරකාරී බවයි.

තවද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පෞද්ගලික අදහස් ප්‍රකාශ කිරීමක් සම්බන්ධයෙන් පුරවැසියකු පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට කැඳවා ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකා නීතිඥ සංගමය කණස්සල්ල පළකරයි.

“ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සියලු පුරවැසියන්ට අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ඇතුළු මූලික අයිතිවාසිකම් සහතික කරයි. තේරී පත් වූ නිලධාරීන්ගේ කාර්ය සාධනය පිළිබඳ අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් පාර්ලිමේන්තුව හමුවේ වගකීමට පත්කිරීම මෙම මූලික අයිතිවාසිකම් පැහැදිලිවම උල්ලංඝනය කිරීමකි. ප්‍රකාශනයේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මූලික අංගයකි. පාර්ලිමේන්තුවෙන් ලැබෙන පළිගැනීම්වලට බියෙන් තොරව ව්‍යවස්ථාදායකයකුගේ ක්‍රියාකාරිත්වය විවේචනය කරන අය ඇතුළුව ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට ශ්‍රී ලාංකික පුරවැසියන්ට අයිතියක් ඇත.” යනුවෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය නිවේදනයෙන් ප්‍රකාශකර ඇත.

එම නිසා පුරවැසියන්ට තම මූලික අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීමට නිදහස තිබිය යුතු බවත්, මෙම මූලධර්මවලට හානි කරන ක්‍රියාවලින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වැළකිය යුතු බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කරයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින්නේ නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කරන ලෙස සහ අධිකරණයේ ස්වාධීනත්වයට ගරු කරන ලෙසයි.

42.31%
17.27%
32.76%