October 31, 2023

සිය බිරිඳගේ විදේශ ගමන් බලපත්‍රය භාවිත කරමින් කාන්තාවක් සමඟ ඉතාලිය බලා යෑමට උත්සාහ කළ පුද්ගලයෙක් අද (31) බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේදී ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පුද්ගලයා පස් හැවිරිදි පුතා සහ කන්කසන්තුරේ ප්‍රදේශයේ පදිංචි ඔහුගේ සහකාරිය යැයි අනුමාන කරන 29 හැවිරිදි කාන්තාවක් සමඟ පස්වරු 1.45ට කටුනායක ගුවන් තොටුපළෙන් එයාර් ඇරබියා ජී 9509 දරන ගුවන් යානයට ගොඩවීමට පැමිණි අවස්ථාවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.

එම තිදෙනා වැඩිදුර විමර්ශන සඳහා දේශසීමා පරීක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත යොමුකර ඇත.

තාක්‍ෂණික පරීක්‍ෂණවලින් සහ මූලික පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇත්තේ, දරුවා පිරිමියාගේ වුවද ඔහු සමඟ ගමන් ගන්නා කාන්තාව ඔහුගේ බිරිඳ හෝ පවුලේ සාමාජිකාවක්‌ නොව කිසිදු සම්බන්ධයක්‌ නැති තැනැත්තියක බවයි.

මෙම පුද්ගලයා මෙරටට පැමිණීමට සති කිහිපයකට පෙර සිය බිරිඳගේ විදේශ ගමන් බලපත්‍රය ඉතාලියේ සිට ගෙන්වා කටුනායක ගුවන් තොටුපළ ආගමන මුද්‍රාව ද ව්‍යාජ ලෙස සකසා ඔහුගේ ප්‍රයෝජනය සඳහා තබාගෙන ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

එමෙන්ම මීට පෙර අවස්ථාවකදීද මෙම විදේශ ගමන් බලපත්‍රයෙන්ම වෙනත් කාන්තාවක් ඉතාලියට රැගෙන යෑමට යොදාගෙන ඇති බවද අනාවරණය වී තිබේ.

ආගමන විගමන නිලධාරීන් විසින් එම පුද්ගලයා, කාන්තාව සහ දරුවා වැඩිදුර විමර්ශන සඳහා කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇත.

42.31%
17.27%
32.76%