July 29, 2023

ප්‍රංශ ජනාධිපතිවරයෙක් මෙරට සංචාරයක නිරත වූ පළමු අවස්ථාව සනිටුහන් කරමින් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සිය දකුණු පැසිෆික් කලාපයේ සංචාරයෙන් අනතුරුව ඊයේ (28) ශ්‍රී ලංකාවේ ඓතිහාසික සංචාරයක නිරත විය.

මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රංශ ජනාධිපතිවරයාව ඉතා සුහදශීලිව පිළිගත් අතර පැයකුත් විනාඩි පහළොවකට ආසන්න කාලක් නායක දෙපළ සුහද සහ සාර්ථක ද්විපාර්ශ්වික සාකච්ඡවක ද නිරත වූහ.

ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල  75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේ දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමු  කෙරිණි.

ජාත්‍යන්තර සබඳතාවන්හිදී ප්‍රංශයේ මැදිහත්වීම අගය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂයෙන් දේශගුණික විපර්යාස අවම කිරීම, විදේශ ණය ප්‍රශස්තකරණය සහ ඉන්දු-පැසිෆික් කලාපයේ ගැටලු පිළිබඳ දක්වන සහයෝගය ද අගය කළේය.

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සඳහා සහය දැක්වීමට ප්‍රංශයේ කැපවීම එමානුවෙල් මැක්‍රොන් මහතා මෙහිදී යළිත් තහවුරු කළ අතර  ශ්‍රී ලංකාවේ සිව්වන විශාලතම ණය හිමියා ලෙස ප්‍රංශය, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට සිය සහය ලබා දෙන බවටද  ප්‍රතිඥා දුන්නේය.

දේශපාලන, ආර්ථික, සංචාරක, දේශගුණික විපර්යාස, තිරසාර සංවර්ධනය සහ සමුද්‍රීය ක්‍රියාකාරකම් ඇතුළු විවිධ ක්ෂේත්‍රවල දෙරට අතර සහයෝගීතාව ශක්තිමත් කර ගැනීම පිළිබඳව නායකයින් දෙපළ මෙහිදී දීරඝ ලෙස සාකච්ඡා කළහ.

ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 75 වනි සංවත්සරය නිමිති කොට ගෙන, දෙරට අතර සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා නිශ්චිත ක්ෂේත්‍ර කිහිපයක් ද මෙහිදී හඳුනා ගන්නා ලදී.

සමුද්‍රීය ආරක්ෂාව සහ සුරක්ෂිතතාව සඳහා අධ්‍යාපන ආයතනයක් පිහිටුවීම, සංවර්ධනය සඳහා වූ ප්‍රංශ නියෝජිතායතනයක් (AFD) ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීම, ඉහළ මට්ටමේ රාජ්‍යතාන්ත්‍රික සංවාද ආරම්භ කිරීම, අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගීතාව සහ  සාගරය ආශ්‍රිත මිනිස් ජාවාරම මැඩ පැවැත්වීමේ උත්සාහයන් වැඩිදියුණු කිරීම යනාදිය  මෙම සහයෝගීතා ක්ෂේත්‍රවලට ඇතුළත් විය.

ප්‍රංශය සාමාජිකත්වය දරණ ඉන්දීය සාගර කලාපීය සංගමයේ (IORA) ඉදිරි සභාපතිත්වය අතරතුර ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ප්‍රංශය දැඩි උනන්දුවෙන් පසුවන බවද ප්‍රංශ ජනාධිපතිවරයා පැවසීය.

ප්‍රංශය ක්‍රියාකාරීව සහභාගී වන ඉන්දීය සාගර කොමිසම කෙරෙහි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කැපවීම ද මෙහිදී ප්‍රකාශ කෙරිණි.

මෙම සාකච්ඡාවලින් අනතුරුව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්, “ශ්‍රී ලංකාව සහ ප්‍රංශය ඉන්දියන් සාගරයේ එකම අරමුණක් වන විවෘත, විස්තීර්ණ සහ සමෘද්ධිමත් ඉන්දු- පැසිෆික් කලාපයක් බෙදා ගන්නා රටවල් දෙකකි: කොළඹදී අපි එය තහවුරු කළා: අපගේ 75 වසරක රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත්ව, අපගේ හවුල්කාරිත්වයට නව යුගයක් විවෘත කරන්නෙමු ” යනුවෙන්  සඳහන්  කර තිබුණි.