January 13, 2025

නීත්‍යානුකූල බලපත්‍රයක් සහිතව ගවයන් ප්‍රවාහනය කරමින් සිටි ලොරි රථයකින් රුපියල් 11000/= මුදලක් බලහත්කාරයෙන් ලබාගැනීමේ චෝදනා මත වීරවිල පෙලිස් ස්ථානයට අනුයුක්තව සේවය කල පොලිස් නිළධාරීන් සිව්දෙනෙකුගේ වැඩ තහනම් කර ඒ පිළීබදව විශේෂ විමර්ෂණයක් ආරම්භ කර ඇති බව වීරවිල පොලිසිය පවසයි.

මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ වීරවිල පොලිසියේ සේවය කළ පොලිස් සැරයන්වරුන් දෙදෙනකුගේ හා පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුගේ ය.

පසුගිය 10 වැනි දින රාත්‍රි 11ට පමණ මෙම නිලධාරින් සිව්දෙනා වීරවිල පොලිස් වසමේ 19 කොළණිය ප්‍රදේශයේ රාත්‍රි මුර සංචාරයේ යෙදි සිටියදී, මාර්ගයේ ගමන් ගත් ලොරි රථයක් නවතා පරික්ෂා කර තිබේ.

එහිදී ලොරි රථයේ නීත්‍යනුකූල බලපත්‍රයක් සහිතව ගවයන් ප්‍රවාහණය කරමින් සිට ඇති නමුත්, එහිදී රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් අදාළ ලොරි රථ රියදුරුට එරෙහිව සත්ව හිංසාව යටතේ නඩු පවරන බවට බියගන්වා ඔහුගෙන් රුපියල් 11000ක මුදලක් බලහත්කාරයේ ලබාගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව, වීරවිල පොලිස් ස්ථානය විසින් අදාළ නිලධාරීන්ට එරෙහිව සිදුකළ මුලික විමර්ශනයේදී කරුණු තහවුරු වීම හේතුවෙන් අදාළ නිළධාරීන් සිව්දෙනාගේ වැඩ තහනමට ලක්කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල කොට්ඨාශභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් පරිදි වීරවිල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

42.31%
17.27%
32.76%