March 20, 2025

මෙම වසර මුලදී මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා මත කැනේඩියානුවන් හතරදෙනකු චීනයේදී මරණ දණ්ඩනයට ලක්කර ඇති බව කැනේඩියානු බලධාරීන් තහවුරු කර තිබේ.

ඔවුන් සියලු දෙනාම ද්විත්ව පුරවැසියන් බවත්, ඔවුන්ගේ පවුල්වල ඉල්ලීම මත ඔවුන්ගේ අනන්‍යතාව හෙළිදරව් නොකරන බවත් කැනඩාවේ විදේශ ඇමතිනි මෙලනි ජොලි ජනමාධ්‍ය හමුවේ පැවසුවාය.

මෙම ඝාතන ආපසු හැරවිය නොහැකි සහ මනුෂ්‍යත්වයේ ගෞරවයට නොගැලපෙන බවට චෝදනා කරමින් ඇය චීනයේ ක්‍රියාකලාපය හෙළාදැක තිබේ.

එමෙන්ම ඔවුන්ට සහනයක් දෙන ලෙස පෞද්ගලික ඉල්ලීමක් පවා සිදුකළ බව ද ඇය පැවසුවාය.

මාස ගණනාවක් තිස්සේ නඩු විභාගය ඉතා සමීපව නිරීක්ෂණය කළ බවත්, හිටපු අගමැති ජස්ටින් ටෘඩෝ ඇතුළු අනෙකුත් නිලධාරීන් සමඟ මරණ දණ්ඩනය නැවැත්වීමට උත්සාහ කළ බවත් ජොලි පැවසුවාය.

කෙසේවෙතත් කැනඩාවේ චීන තානාපති කාර්යාලයේ ප්‍රකාශකයකු කියාසිටියේ වරදකරුවන් වූ කැනේඩියානු ජාතිකයන්ගේ අපරාධ සඳහා සාක්ෂි දඬුවම් සඳහා ප්‍රමාණවත් වූ බවයි.

එබැවින් වගකීම් විරහිත ප්‍රකාශ කිරීම නවත්වන ලෙස ද චීන තානාපති කාර්යාලය කැනඩාවෙන් ඉල්ලා තිබේ.

චීනය අදාළ කැනේඩියානු ජාතිකයන්ගේ අයිතිවාසිකම් සහ අවශ්‍යතා සම්පුර්ණයෙන්ම සහතික කර ඇති බවත්, චීනයේ අධිකරණ ස්වෛරීභාවයට ගරුකරන ලෙස කැනේඩියානු රජයෙන් ඉල්ලා සිටින බවත් චීන තානාපති කාර්යාලය පවසා ඇත.

චීනය ද්විත්ව පුරවැසිභාවය පිළිනොගන්නා අතර මත්ද්‍රව්‍ය අපරාධ සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක් දරයි.