February 18, 2024

වසරක සිරදඬුවම් නියම වූ තායිලන්තයේ හිටපු අගමැති තක්ෂින් ෂිනවත්‍රා සිරදඬුවමෙන් මාස හයකට පසු අද කොන්දේසි මත නිදහස් විය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ තක්ෂින් රැගත් මෝටර් රථයක් ඉරිදා උදෑසන 6:06ට බැංකොක්හි පොලිස් රෝහලෙන් පිටව ගිය බවයි.

වසරක සිරදඬුවමක් නියමව සිටි තක්ෂින් ෂිනවත්‍රාට පැවති රෝගී තත්ත්වයන් හේතුවෙන් ඔහු රෝහල්ගත කර සිටි අතර ඒ අනුව එහිදී දඬුවමෙන් මාස හයක් ගෙවා අවසන් කළේය.

තායිලන්ත අග්‍රාමාත්‍ය Srettha Thavisin මීට පෙර ප්‍රකාශ කළේ තක්ෂින් කොන්දේසි සහිත සමාව මත මුදාහැරීම නීතියට අනුකූල බවයි.

එරට අධිකරණ අමාත්‍යංශයට අනුව, 74 හැවිරිදි හිටපු අගමැතිවරයා මේ මාසයේ සමාව සඳහා අනුමත කර ඇති රැඳවියන් 930 දෙනා අතර සිටියේය.

වයස අවුරුදු 70ට වැඩිවීම මත සහ බරපතළ රෝගාබාධයකින් පෙළෙන බැවින් ඔහු සමාව සඳහා සුදුසුකම් ලබයි.

තක්ෂින් වසර 15කට වැඩි කාලයක පිටුවහලක් අවසන් කර පසුගිය වසරේ අගෝස්තු මාසයේදී නැවත තායිලන්තයට ගිය නමුත් එහිදී රඳවා තබාගෙන චෝදනා කිහිපයක් යටතේ වසර අටක සිරදඬුවමකට මුහුණ දුන්නේය.

කෙසේවෙතත්,ආපසු පැමිණ ටික කලකට පසු මුහුණ දී සිටි සෞඛ්‍ය ගැටලු හේතුවෙන් ඔහු බැංකොක් බන්ධනාගාරයේ සිට රෝහලකට මාරුකරන ලදී.

පසුගිය සැප්තැම්බරයේ තායිලන්ත රජු මහා වජිරලොන්කෝන් විසින් තක්ෂින්ගේ වසර අටක සිර දඬුවම වසරක් දක්වා අඩු කළේ ඔහු විසින් රාජකීය සමාව ඉල්ලා සිටීමෙන් පසුවය.

තක්ෂින් 2001 සිට 2006 දක්වා තායිලන්තයේ අගමැතිවරයා ලෙස කටයුතු කළ අතර 2008 සිට විදේශගතව සිටියේය.