56.8%
18.59%
20%
September 4, 2023

1980 සිට 1990 දක්වා කාලයේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ශ්‍රී ලංකා මහජන පක්‍ෂයේ සිටියදී නිකුත් කර ඇති බෝර 12 තුවක්කු 100කට වැඩි සංඛ්‍යාවක් තවමත් ආපසු ලබා දී නොමැති බවට වාර්තා වීමත් සමඟ ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කර ඇත්තේ, එම ආයුධ නිකුත් කළේ පක්ෂයට හෝ හිටපු ජනාධිපතිනියට නොව, එවකට සිටි පළාත් සභා මන්ත්‍රීවරුන්ට බවයි.

ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පාර්ලිමේන්තුවේ සභාගත කළ ලේඛනයක් උපුටා දක්වමින් ජනමාධ්‍ය පසුගියදා වාර්තා කර තිබුණේ, හිටපු ජනාධිපතිනියගේ සැමියා සහ ශ්‍රී ලංකා මහජන පක්‍ෂයේ නිර්මාතෘ, විජය කුමාරතුංග ඝාතනය කිරීමෙන් පසු කාලයක ඇය ශ්‍රී ලංකා මහජන පක්‍ෂයට නායකත්වය ලබා දී ඇති අතර, එහිදී (1988 දී) ලබාදුන් බෝර 12 තුවක්කු 104 ක් තවමත් රජයට ආපසු ලබා දී නොමැති බවයි.

පක්ෂය සතුව කිසිදු ආයුධයක් නොමැති බවත්, එම අවස්ථාවේදී ඒවා පළාත් සභා මන්ත්‍රීවරුන් නිකුත් කර තිබූ බවත්, එම ආයුධ ශ්‍රී ලංකා මහජන පක්‍ෂය සන්තකයේ තිබේදැයි එහි සභාපති ඇල්ෆ්‍රඩ් රාමනායකගෙන් කළ විමසීමකදී සඳහන් කර තිබේ.

එකල දේශපාලකයෙක්ට නිවසින් පිටතට යෑමට නොහැකි වාතාවරණයක් පැවැති බැවින්, එවකට රජය විශේෂයෙන්ම පළාත් සභා මන්ත්‍රීවරුන්ට යම් පුහුණුවක් ලබා දී ආයුධ නිකුත් කර ඇති බව සභාපතිවරයා පෙන්වාදී ඇත.

එමෙන්ම දේශපාලන පක්‍ෂවලින් ආයුධ රැගෙන ඒවා කාර්යාලවල තියාගෙන සිටින බව ඇතැමුන් පැවසුවද එය සත්‍යක් නොවන බවද ඔහු පවසයි.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ශ්‍රී ලංකා මහජන පක්‍ෂයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස කටයුතු නොකළ බවත්, ඒ වෙනුවට ඇය විජය කුමාරතුංගගේ අභාවයෙන් පසු එහි සභාපතිනිය ලෙස කටයුතු කර ඇති බවත්, සභාපතිවරයා සඳහන් කර තිබේ.

මෙම ආයුධ නිකුත් කර ඇත්තේ පක්ෂ මහ ලේකම්වරුන්ට බවත්, එම නිසා ආයුධ ඇයට ලැබී තිබෙන බව පැවැසීම ගැටලු සහගත බවත්, ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

එමෙන්ම යම් හෙයකින් එවැන්නක් සිදුවී ඇතත්, ඇයට ආයුධ සිය ගණනක් තබා ගැනීමට අවශ්‍ය නොවන අතර, ඒවා පළාත් සභා මන්ත්‍රීවරුන්ට බෙදා දෙන්නට ඇතැයි තමන් විශ්වාස කරන බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

56.8%
18.59%
20%