March 24, 2025

නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහා තානාපතිවරුන් දෙදෙනකු, මහකොමසාරිස්වරයකු සහ ශ්‍රී ලංකාවේ ස්ථිර නියෝජිතයකු පත්කිරීම සඳහා වන නාමයෝජනා උසස් තනතුරු පිළිබඳ කමිටුව විසින් අනුමත කර ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, කියුබා ජනරජයේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත්කිරීමට නියමිත රත්නායක මුදියන්සේලාගේ මහින්දදාස රත්නායක සහ ජපානයේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත්කිරීමට නියමිත මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ යන අයගේ නාමයෝජනා උසස් තනතුරු පිළිබඳ කමිටුව විසින් අනුමත කර ඇත.

මහාබ්‍රිතාන්‍යයට සහ උතුරු අයර්ලන්තයට බලපැවැත්වෙන පරිදි එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ලෙස පත්කිරීමට නියමිත සේනාධීර දුමුන්නගේ නිමල් උපාලි සේනාධීරගේ නාමයෝජනා ද උසස් තනතුරු පිළිබඳ කමිටුව විසින් අනුමත කර තිබේ.

අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ ස්ථිර නියෝජිතයා ලෙස පත්කිරීමට හිටපු අගවිනිසුරු ජයන්ත චන්ද්‍රසිරි ජයසූරියගේ නාමයෝජනාවද උසස් තනතුරු පිළිබඳ කමිටුව විසින් අනුමත කර ඇත.