November 13, 2023

ලෝක උරුම නකල්ස් වනාන්තර පද්ධතියේ අධි සංවේදී කලාපය තුළ මහා පරිමාණ පරිසර සංහාරයක් සිදුවෙමින් පවතින බවට චෝදනා එල්ල වී තිබේ.

වෝල්ට් 33,000 විදුලි රැහැන් පද්ධතියක් නවීකරණය කිරීම සඳහා කෙරෙන මෙම ඉදිකිරීම් නිසා පාරිසරික වශයෙන් විශාල හානියක් සිදුවෙමින් පවතින අතර, නකල්ස් වනාන්තරයේ සුන්දරත්වය අත්විඳීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ දැකීමේ අයිතියට හානිකර අන්දමින් කටයුතු සිදුවන බව ගැපෙක් ශ්‍රී ලංකා ආයතනයේ අධ්‍යක්ෂ ගාමිණී ජයතිස්ස පවසයි.

මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය වීර කැප්පෙටිපොළ අනුස්මරණ ශාලාවේදී පැවැති මාතලේ දිස්ත්‍රික් පාරිසරික නීති ක්‍රියාත්මක කිරීමේ කමිටුවට කරුණු ඉදිරිපත් කළ ඔහු, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හෝ බලධාරීන් කිසිවකුගේත් අවසරයක් හෝ අනුමැතියක් නොමැතිව විදුලි බල මණ්ඩලයේ අවශ්‍යතාව මත කෙරෙන මෙම ඉදිකිරීම නිසා මේ වන විට නකල්ස් අධිසංවේදී කලාපයේ ජෛව විවිධත්වයට විශාල හානියක් සිදුව ඇති බවද සඳහන් කර ඇත.

නකල්ස් වනාන්තරය ලෝක උරුමයක් ලෙස ගැසට් කිරීමට පෙර මැදවත්තේ සිට ඉලුක්කුඹුර දක්වා ඇද ඇති විදුලි රැහැන් පද්ධතිය වර්තමානයට ගැළපෙන අන්දමින් නවීකරණය කිරීම වරදක් නොවන නමුත් නිසි අවසරයක් හා පරිසර විශේෂඥයන්ගේද උපදෙස් නොගෙන සිදුකරන මෙම ඉදිකිරීම් නකල්ස් පරිසරයේ ජෛව විවිධත්වය මේ වන විට උඩුයටිකුරු කිරීමට බලපා ඇතිබවද හෙතෙම කියයි.

අවට පදිංචිකරුවකුට කෙවිටක් කපා ගැනීමේ හැකියාවක් නොමැති අධිසංවේදී කලාපයේ විශාල ගල් ගලවා, කොන්ක්‍රීට් යොදමින් දැවැන්ත කුලනු ඉදිකිරීම වහාම අත්හිටුවා පරිසරයට හානියක් නොවන අන්දමට ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇති බවත්, පරිසරයට හානියක් නොවන අන්දමට කෙරෙන එම ඉදිකිරීම් සඳහා ඇස්තමේන්තුගත මුදල ඉක්මවන්නේ නම් අතිරේක ප්‍රතිපාදන ලබාදීමේ හැකියාව ඇති බවත්, ඔහු කමිටුවට දන්වා තිබේ.

ලෝක උරුමයට හානියක් සිදුවන බැවින් විදුලි බල මණ්ඩලය හිතුවක්කාර අන්දමින් කෙරෙන මෙම ඉදිකිරීම් වහාම අත්හිටුවා හිතකර ක්‍රියාමාර්ගයක් ගැනීමට කටයුතු යොදන්නැයි ගැපෙක් ශ්‍රී ලංකා ආයතනය මාතලේ දිස්ත්‍රික් පරිසර නීති ක්‍රියාත්මක කිරීමේ කමිටුවෙන් ඉල්ලා ඇත.

මේ සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුව හා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් සමඟ අද (13) විශේෂ සාකච්ඡාවක් පවත්වන බව මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න පවසයි.

දැනටමත් එම ප්‍රදේශයේ විදුලි රැහැන් පද්ධතියක් පවතින බවත්, එය නවීකරණය කිරීමට සූදානම් වූවත් තවමත් ඒ පිළිබඳ නිශ්චිත තීරණයකට එළැඹ නොමැති බවත්, ඇය සඳහන් කර ඇත.

අද පැවැත්වෙන සාකච්ඡාවේදී නවීකරණ කටයුතු සිදුවන ආකාරය විදුලිබල මණ්ඩලය සමඟ සාකච්ඡා කොට තීරණයකට එළැඹෙන බවද දිස්ත්‍රික් ලේකම්වරිය සඳහන් කළාය.(මව්බිම)

42.31%
17.27%
32.76%