August 9, 2023

දැනට තිරප්පනේ ලබුනොරුව වැව් රක්ෂිතයේ වැතිර සිටින අග්බෝ නමින් ප්‍රචලිත තුවාල ලැබූ ඇතාට ප්‍රතිකාර ලබාදීම සඳහා විදේශීය වෛද්‍ය විශේෂඥයන් පිරිසක් දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

අනුරාධපුර වනජීවී කලාපයේ පශු වෛද්‍ය චන්දන ජයසිංහ පවසන්නේ, උගුල් තුවක්කුවකින් වෙඩි වැදී ඇති වූ තුවාල හේතුවෙන් මෙම දළ ඇතා මාස තුනක පමණ කාලයක සිට අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවයි.

ප්‍රතිකාර කළද තුවාලය සුව නොවීම හේතුවෙන් ඇතාට වැඩිදුර ප්‍රතිකාර ලබාදීමට විදේශ විශේෂඥ දැනුම ලබාගැනීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව ඔහු පවසයි.

වෛද්‍ය ජයසිංහ පවසන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍යවරුන් කණ්ඩායමක් රසායනාගාර පරීක්ෂණ සඳහා ඇතාගේ රුධිර සාම්පල ලබාගෙන ඇති බවයි.

අඩි 10ක් පමණ උසැති මෙම දළ ඇතා අවුරුදු 40ක් පමණ වයසැති බවත්, තුවාල වීමට පෙර වසර කිහිපයක සිට අනුරාධපුර තුරුවිල, තිරප්පනේ සහ මහකනදරාව ප්‍රදේශවලට නිතර ගැවසෙන බවත් ඔහු වැඩිදුරටත් පවසයි.