March 17, 2025

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීමේ ආර්ථික අපරාධයට එරෙහිව ක්‍රියත්මක වීමේදී උපදෙස් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව විදේශීය උපදේශකයකු බඳවා ගෙන තිබේ.

මෙලෙස බඳවාගෙන ඇත්තේ, නීතිඥවරයකු සහ මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා/පැසිෆික් කණ්ඩායමේ (APG) හිටපු විධායක ලේකම් ආචාර්ය ගෝර්ඩන් හූක් බව The Sunday Times වාර්තා කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් උපදේශකයකු ලෙස ඔහුව බඳවා ගෙන ඇති අතර, ඔහු 2023 සැප්තැම්බර් මාසයේදී එම නියෝජිත කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙස ශ්‍රී ලංකාවට පැමිණ තිබිණි.

කෙසේවෙතත් ඔහුගේ ගාස්තු සහ නියමයන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හෙළිකර නොමැත.

පවතින ගැටළු හඳුනාගැනීමට සහ 2026 දී අන්‍යෝන්‍ය ඇගයීම සඳහා සූදානම් වීමට ආචාර්ය හූක් මාර්තු 25 සිට බලපත්‍රලාභී බැංකු ඇතුළුව ඇගයීමක් සිදුකරන බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසා ඇත.

මේ අතර,මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම සම්බන්ධයෙන් වන නීති තුනක් සංශෝධනය කෙරේ.

එනම්, 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත, 2006 අංක 6 දරන මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනත සහ 2005 අංක 25 දරන ත්‍රස්තවාදයට මුදල් සැපයීම මර්දනය කිරීමේ සම්මුති පනත ය.

මෙම සංශෝධන “අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූලව නීති රාමුව තවදුරටත් ශක්තිමත් කරනු ඇති” බව මහබැංකු අධිපතිවරයා පවසා ඇත.