February 6, 2024

මත්තල ගුවන්තොටුපළ හරහා ඉකුත් වසරේ දෙසැම්බර් 30වන සෙනසුරාදා නීති රීති උල්ලංඝණය කරමින් මෙරටට රැගෙන ආ විදේශීය කුරුල්ලන් තොගය නිදහස් කරගැනීමට ආනයන අපනයන පාලකවරයා හරහා බලපත්‍රයක් ලබාගැනීමට උත්සහයක් ඇතැයි රේගු අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වේ.

විදේශයන්ගෙන් පක්ෂීන් ඇතුළු ජීවී සතුන් ගෙනඒමේදී අනුගමනය කළයුතු ක්‍රියාපටිපාටියක් පැවතියත් මේ කුරුල්ලන් තොගය පෙර නිකුත් කළ බලපත්‍රයක් උපයෝගි කොටගෙන මෙරටට රැගෙන විත් ඇති බවට මින් පෙර රේගුව සිදුකළ පරීක්ෂා කිරීම්වලදී අනාවරණය වී තිබේ.

එම කුරුල්ලන් සම්බන්ධයෙන් සිදුකෙරෙන රේගු විමර්ශනද නිසි අයුරින් සිදුනොවන බවට චෝදනා ඇතැයි එහි ඉහළ නිලධාරියෙක් පවසා ඇත.

එම කුරුල්ලන් තොගය මුදාහැරීම සඳහා බලපත්‍රයක් නිකුත් කිරීමට ආනයන අපනයන පාලකවරයාට බලයක් නොමැති බව හිටපු රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සමන්ත ගුණසේකර පවසයි.

මේවනතුරුත් නිදහස් කොට නොමැති කුරුල්ලන් තොගය මෙරටට ගෙන ඒමේදී සටහන් යෙදූ රේගු සටහන්පත් ආදී ලියකියවිලි මේ වන විටත් පරීක්ෂා කරමින් සිටින බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ සඳහන් කරයි.

එම සතුන්ට අදාළ නීතිමය ක්‍රියාවලිය මේ වනතුරුත් අවසන් කිරීමට නොහැකි වීම නිසා මාසයකටත් අධික කාලයක් තිස්සේ එම කුරුල්ලන් රඳවාතැබීම හැර වෙනත් කළ හැකි යමක් නොවන බවද ඔහු අවධාරණය කර තිබේ.

යම් හෙයකින් මේ සතුන් මෙරටට ගෙන ඒමේදී නීතිය කඩකොට ඇතැයි යන්න හෙළි වුවහොත් එයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද හෙතෙම පවසයි.

නීති කඩකළ බවට හෙළිවුවහොත් යම් හෙයකින් මේ කුරුල්ලන් තොගය රාජසන්තක කරන්නේ නම් එහිදී කුමක් කළ යුතු ද යන්න වග වනජීවී දෙපාර්තමේන්තුවෙන් විමසා බලන්නේ යැයි ද සීවලී අරුක්ගොඩ සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් වන විමර්ශන තවමත් සිදුකෙරෙන නිසා මේ බව නිශ්චිතවම ප්‍රකාශ කළ නොහැකි බව ද ඔහු අවධාරණය කර තිබේ.

ඉදිරි සතිය ඇතුළත එහි විමර්ශන අවසන්කොට වාර්තාවක් ලබා ගැනීමට හැකි වනු ඇතැයි ද ඉන් අනතුරුව මේ කුරුල්ලන් තොගය සම්බන්ධයෙන් කුමක් කරන්නේ ද යන්න නිශ්චිතවම පැවැසිය හැකි බව ද හෙතෙම කියයි.

මේ වන විට එම කුරුල්ලන් තොගය ආනයනය කළ පුද්ගලයා සතුවම රඳවා ඇති නිසා දිනපතාම මත්තල ගුවන්තොටුපළේ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම සතුන් අධීක්ෂණය කරන බවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

එම කුරුල්ලන් නඩත්තු කිරීමේ හා ඒ වියදම් පියවා ගැනීමේ සම්පූර්ණ වියදම් ආනයනය කළ පුද්ගලයා විසින්ම දරනු ලබන බව ද ඔහු පවසයි.

මේ අතර වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර පැවසුවේ, මේ කුරුල්ලන් තොගය සම්බන්ධයෙන් මේ වනතුරුත් රේගු දෙපාර්තමේන්තුව තම දෙපාර්තමේන්තුවට රාජකාරීමය වශයෙන් කිසිදු දැනුම් දීමක් සිදු කොට නොමැති බවය.

බලපත්‍ර උල්ලංඝණය කරමින් ගෙන ආ විදේශීය කුරුල්ලන් තොගය නිදහස් කිරීමට බලපත්‍රයක් නිකුත් කිරීමට ආනයන අපනයන පාලකවරයාට බලයක් නැතැයි ජ්‍යෙෂ්ඨ නීතිඥ ආචාර්ය ජගත් ගුණවර්ධන පෙන්වා දී තිබේ.

වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 37 වැනි වගන්තිය යටතේ බලපත් ලබානොගෙන මෙරටට එම කුරුල්ලන් ආනයනය කොට ඇත්නම් එය නීතිවිරෝධී ක්‍රියාවක් බව ද හෙතෙම පවසයි.

එසේ තිබියදී මේ කුරුල්ලන් තොගය නිදහස් කිරීම සඳහා කිසිදු නීතිමය අවකාශයක් නැතැයි ද ඔහු අවධාරණය කරයි.

පසුගිය වසරේ දෙසැම්බර් 30 වන සෙනසුරාදා උදෑසන සුරිනාම්හි සිට විශේෂ ගුවන් යානයකින් මේ කුරුල්ලන් තොගය මෙරටට රැගෙනවිත් තිබේ.(මව්බිම)

42.31%
17.27%
32.76%