September 21, 2024

Manthri.lk වේදිකාව වෙතින් ශ්‍රී ලංකා ජනාධිපතිවරණ පිළිබඳ රසවත් කරුණු පහක් හෙළිකර ඇත.

ඉන් පළමුවැන්න වන්නේ, පසුගිය ජනාධිපතිවරණ 8 තුළ අඛණ්ඩව ජයග්‍රාහකයාට ඡන්දය දුන් එකම දිස්ත්‍රික්කය පොළොන්නරුවයි. එනම් පොළොන්නරුව දිස්ත්‍රික්කය එම සෑම වතාවකදීම ජයග්‍රාහකයාට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබාදී තිබේ.

ජනාධිපතිවරණයකදී ජයග්‍රාහකයා සහ දෙවැනියා හැරුණු විට ඉතිහාසයේ ඡන්ද කොට්ඨාශයක් ජයග්‍රහණය කළ අපේක්ෂකයන් දෙදෙනා වන්නේ, ජී.ජී. පොන්නම්බලම් (1982) සහ ඔස්වින් අබේගුණසේකර (1988) ය. එලෙස මැතිවරණ දිස්ත්‍රික්කයක් ජයග්‍රහණය කළ එකම අපේක්ෂකයා ජී.ජී.පොන්නම්බලම් ය.

1982 සිට 2019 දක්වා ජනාධිපතිවරුන් තේරී පත් වූ පළාත් තුන වන්නේ උතුරු-මැද, බස්නාහිර සහ දකුණයි.

පසුගිය ජනාධිපතිවරණ 8ට ඉදිරිපත් වී ඇත්තේ කාන්තා අපේක්ෂකාවන් 4 දෙනකු පමණි. 1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනාධිපතිවරිය බවට පත්වූයේ 60%කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමිනි.

ජයග්‍රාහකයා සහ අනුශූරයා අතර අඩුම ඡන්ද පරතරය වාර්තා වූයේ 2005 ජනාධිපතිවරණයේදීය. එහිදී මහින්ද රාජපක්ෂ ජනාධිපති වූයේ රනිල් වික්‍රමසිංහට වඩා 1.86% වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගෙනය. එහිදී වැඩි ඡන්ද සංඛ්‍යාව 180,786 ක් පමණක් වූ අතර, එම මැතිවරණයේදී ඡන්ද 3,500,382 ක් ඡන්දය ප්‍රකාශ කර නොතිබිණි.