October 28, 2023

මෙම මස මුලදී බෝල්ටික් මුහුදේ ගෑස් නල මාර්ගයකට සිදු වූ හානිය නෞකාවක් මුහුදු පත්ල දිගේ විශාල නැංගුරමක් ඇදගෙන යාමෙන් සිදු වූවක් යැයි විශ්වාස කෙරෙන බව ෆින්ලන්තය ප්‍රකාශ කරයි.

කෙසේවෙතත් මෙය අනතුරක් ද නැතිනම් හිතාමතා කළ ක්‍රියාවක් ද යන්න කීමට ඉක්මන් වැඩි බව ෆින්ලන්ත පොලිසිය සඳහන් කර තිබේ.

ඔක්තෝම්බර් 8වැනි දින නල මාර්ගය කැඩී ගිය මුහුදු පත්ලෙන් නැංගුරමක් ඔවුන් විසින් සොයාගෙන ඇති අතර එය චීන බහාලුම් යාත්‍රාවකට අයත් බවට විශ්වාස කෙරේ.

ෆින්ලන්තයට අයත් Balticconnector subsea gas නල මාර්ගයට සහ Baltic Sea ටෙලිකොම් කේබල් දෙකකට හානි සිදුවී ඇත්තේ බාහිර යාන්ත්‍රික බලයකින් බව පොලිසිය මීට පෙර පවසා ඇති අතර, මෙය කඩාකප්පල්කාරී සිද්ධියක් ද නැතිනම් හදිසි අනතුරකින් සිදු වූවක් ද යන්න විමර්ශනය කරමින් පවතී.

නල මාර්ගය කැඩී ගිය ස්ථානයට දිවෙන මුහුදු පත්ලේ පුළුල් ඇදීමේ සලකුණු දක්නට ලැබුණු අතර, හානියට පත් ස්ථානය ආසන්නයේ නැංගුරම වැටී ඇත.

හානිය සිදුවන අවස්ථාවේ නල මාර්ගයට සහ කේබල් වලට ඉහළින් ගමන් කළ චීනයට අයත් Chinese New New Polar Bear නම් බහාලුම් යාත්‍රාව පිළිබඳව මේ වන විට විමර්ශනය කෙරෙමින් පවතී.