July 14, 2024

පසුගිය ආර්ථික හා දේශපාලන බිඳ වැටීම හමුවේ මෙරට ඉතිහාසයේ පළමුවරට ජාතික මට්ටමින් සිතිය හැකි දේශපාලන කණ්ඩායමක් රට තුළ නිර්මාණය වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

වසර 05කට බලය ලබා ගන්නේ කෙසේද යන්න හෝ පවතින ආණ්ඩුව පෙරළන්නේ කෙසේද කියා සිතන දේශපාලන ක්‍රමය වෙනුවට ජාතික මට්ටමින් සිතා කටයුතු කළ හැකි දේශපාලන ක්‍රමයක් ඉදිරියට ද රටට අවශ්‍ය බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

රටේ දරු පරපුර වෙනුවෙන් අනාගතයට ගැළපෙන ශක්තිමත් ආර්ථික ක්‍රමයක් රට තුළ ඇති කිරීමට කටයුතු කරන බවත් එය කෙටි කාලීන ආර්ථික ක්‍රමයක් නොවන අතර රටේ ආර්ථිකය යළි බිඳ නොවැටෙන දීර්ඝකාලීන, ශක්තිමත් ආර්ථික ක්‍රමයක් වනු ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ අනුරාධපුර මධ්‍ය විද්‍යාලය සඳහා අභිනවයෙන් ඉදිකළ නවීන පහසුකම්වලින් සමන්විත පිහිනුම් තටාකය සිසු අයිතියට පවරාදීමේ අවස්ථාවට ඊයේ (13) එක් වෙමිනි.

පිහිනුම් තටාකය පිහිටි භූමිය අනුරාධපුර මධ්‍ය විද්‍යාලයට පවරදීම ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ අනාගතය ගොඩනඟා දෙන්නේ කෙසේද යන්න පිළිබඳ ස්තීමට කාලය එළඹ ඇති බවයි.

“රට බංකොලොත්භාවයෙන් නිදහස් කර ගැනීමත් සමඟ එහි පළමු අභියෝගය අප මේ වන විට ජයග්‍රහණය කර තිබෙනවා. අපට පවතින ආර්ථක ක්‍රමය අනුව ඉදිරියට යන්න බැහැ. එවිට රටක් ලෙස අපට තවත් ණය වීමට සිදු වෙනවා. එසේ සිදුවුවහොත් මේ දරුවන් බලාපොරොත්තු වන අනාගතය ගොඩනැගීමට නොහැකි වෙනවා. ඒ වගේම තවත් වසර 15කින් අපට දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදු වෙනවා. රටක් ලෙස ඉදිරියට යනවාද, නැවත ආර්ථික කඩා වැටීමට ඉඩ දෙනවාද කියා අප තීරණය කළ යුතුයි. මෙහි සිටින ඔබ අවම වශයෙන් තවත් අවුරුදු 50ක් පමණ ජීවත් වෙනවා. එසේ නම් අප ආණ්ඩුවක් ලෙස අවධානය යොමු කළ යුත්තේ වසර 2050 දෙස නොව වසර 2075 පිළිබඳවයි.

ඇතැම් දේශපාලනඥයන් සිතන්නේ අවුරුදු 05ක් බලයට එන්නේ කොහොමද කියලයි. නැත්නම් බලයේ ඉන්න කෙනා අයින් කරන්නේ කොහොමද කියා ඔවුන් සිතනවා. මෙම දේශපාලන ක්‍රමය නිසා අවසානයේ මේ රටේ ආර්ථිකය කඩා වැටුණා. ඒ සමඟම මේ රටේ දේශපාලන ක්‍රමය ද බිඳ වැටුණා.

අසීරු කාලයක රට භාරගෙන සියලු දේශපාලන පක්ෂවල පිරිස එක් කර ගනිමින් රටේ ආර්ථිකය ගොඩගැනීමට මට හැකි වුණා. ඒ අනුව මෙරට පළමු වතාවට ජාතික මට්ටමින් සිතිය හැකි කණ්ඩායමක් නිර්මාණය වුණා. එම ක්‍රමය අනාගතයටත් අවශ්‍යයි. කුමන දේශපාලන පක්ෂයක් නියෝජනය කළද රට ගැන සිතිය යුතුයි. අප රටක් ලෙස සාර්ථක වනවාද නැද්ද කියා තීරණය වන්නේ ඉදිරි වසර 05 තුළයි. ඒ නිසා අප අනාගතය දෙස අවධානය යොමු කරමින් කටයුතු කරමු කියා මම සියලුදෙනාගෙන් ඉල්ලනවා.” යනුවෙන් ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

42.31%
17.27%
32.76%