February 5, 2024

හෙට (6) පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මන්ත්‍රී කමිටු රැස්වීමේදී කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම පිළිබඳව සාකච්ඡා කරන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක පවසයි.

සජබ කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට සුදානම වන්නේ, බොහෝ විවේචනයට ලක් වූ මාර්ගගත(ඔන්ලයින්) ආරක්ෂණ පනත් කෙටුම්පත සම්මත කරගැනීමට ආණ්ඩුවට ඉඩ දීමේ දී කථානායකවරයාගේ හැසිරීම ගැන සඳහන් කරමිනි.

ඔන්ලයින් ආරක්ෂණ පනත සම්පාදනය කිරීමේ ක්‍රියාවලියේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් නිර්දේශ නවය කථානායකවරයා විසින් නැවත නැවතත් නොසළකා හැරිය බවත්, ඒ සම්බන්ධයෙන් වැඩිදුර උපදෙස් ලබාගන්නා ලෙස විපක්ෂයෙන් කළ ඉල්ලීම් කථානායකවරයා විසින් නැවත නැවතත් නොසළකා හරින ලද බවත් සජබ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කළේය.

පසුගියදා ගාල්ලේ පැවති උත්සවයකදී සජබ නායකයා ප්‍රකාශ කළේ කථානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීම ගැන සළකා බලන බවයි.

“අන්තර්ජාල ආරක්ෂණ පනත නීති විරෝධී ලෙස කථානායකවරයා විසින් අනුමත කර තිබෙනවා. අපි මේ කාරණය සම්බන්ධයෙන් විශ්ලේෂණයක් කළා. ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නිර්දේශ අවස්ථා 9කදී නොසළකා හැර තිබෙනවා. කතානායකවරයා ගැන අපිට තවදුරටත් විශ්වාසයක් නැහැ. පාර්ලිමේන්තුවට කථානායකවරයා කෙරෙහි විශ්වාසයක් තිබෙනවාද නැද්ද යන්න ඉදිරියේදී සලකා බැලිය යුතුයි” යැයි සජිත් ප්‍රේමදාස එහිදී පැවැසීය.

‘ඩේලි මෝනිං’ මේ සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා පවසා ඇත්තේ,මේ සම්බන්ධයෙන් පක්ෂය තවමත් නිල තීරණයක් ගෙන නොමැති නමුත්, කථානායකවරයා කටයුතු කරන ආකාරය සහ විපක්ෂයේ ඉල්ලීම්වලට කන් නොදීම සම්බන්ධයෙන් සිය පක්ෂයේ බොහෝ මන්ත්‍රීවරුන් කලකිරීමෙන් පසුවන බවයි.

“කථානායකවරයා ප්‍රශ්නය හැසිරවූ ආකාරය ගැන බොහෝ විපක්ෂයේ මන්ත්‍රීවරු කලකිරීමෙන් සිටිනවා. ඔහු නීති නොසලකා හැරීමට කිරීමට ඉඩදුන් අතර අපගේ ගැටළුවලට ඇහුම්කන් දුන්නේ නැහැ. පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ද නියෝග ලබාදී තිබෙනවා. ඉතින් කතානායකවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගේන්න ඕන කියලා අපේ බොහෝ මන්ත්‍රීවරුන් අතර මතයක් තියෙනවා. ඒ නිසා හෙට පැවැත්වීමට නියමිත අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී කමිටු රැස්වීමේදී ඒ පිළිබඳව අවධානය යොමුකරනවා.” යැයි හෙතෙම සඳහන් කළේය.

42.31%
17.27%
32.76%