October 30, 2023

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සමගි ජනබලවේගයේ සභාපති ධූරයෙන් ඉවත් කිරීමට නියමිත බවට පළවන වාර්තා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සඳහන් කර ඇත්තේ, ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.

“අපි අවසන් තීරණයක් අරගෙන නැහැ. නමුත් ඔහු අනිවාර්යයෙන්ම පක්ෂ අවශ්‍යතාවලට විරුද්ධව වැඩ කරනවා. මේක නරකයි. සමහර සජබ මන්ත්‍රීවරු සරත් ෆොන්සේකා සමඟ සාකච්ඡාවක් කර ඇතත් එයින් කිසිදු ප්‍රතිඵලයක් ලැබී නැහැ. ඔහු කිසිවෙක්ට ඇහුම්කන් දෙන බවක් පෙනෙන්නට නැහැ” හිටපු හමුදාපතිවරයාට එරෙහිව විනය පියවර ගැනීම ප්‍රතික්ෂේප නොකරමින් මන්ත්‍රීවරයා එසේ සඳහන් කර ඇත.

ඉදිරි ජනාධිපතිවරණයකදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දිනවීම වෙනුවෙන් තමන් ක්‍රියාකාරී ලෙස වැඩ නොකරන බව ඔහු සජබ ජ්‍යෙෂ්ඨයන් පිරිසකට පවසා ඇතැයි වාර්තා වේ.

ඔහු පක්ෂයට විරුද්ධව සිදු කරනු ලබන විවිධ ප්‍රකාශ සම්බන්ධයෙන් විමසීමට සජබ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල, සජබ ජාතික සංවිධායක තිස්ස අත්තනායක, ජ්‍යෙෂ්ඨ උප සභාපති ගයන්ත කරුණාතිලක යන අයගෙන් සමන්විත පිරිසක් සමග පසුගියදා පාර්ලිමේන්තු කාමරයකදී පැවැති විශේෂ සාකච්ඡාවකදී හෙතෙම මේ බව ප්‍රකාශ කර තිබේ.

අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු තෝරා ගැනීමේ ඡන්දයේදී සජබය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ඉදිරිපත් කිරීම වැරදි සහගත බව කියමින් ඒ පිළිබඳ පක්ෂ නායකත්වය ගනු ලැබූ තීරණය ප්‍රධාන වශයෙන්ම හෙතෙම දැඩි දෝෂදර්ශනයට ලක් කර ඇත.

එම අවස්ථාවේ ඩලස් අලහප්පෙරුම ජනාධිපති ලෙස පත්වූයේ නම් ජනාධිපති වී මේ වන විට රනිල් වික්‍රමසිංහ කරනු ලබන කාර්යභාරය සිදුකිරීමට ඔහුට හැකි දැයි කියා මන්ත්‍රීවරයා ප්‍රශ්න කර තිබේ.

මෙම සාකච්ඡාවේදී සරත් ෆොන්සේකා යම් තරමකට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වත්මන් පාලනයට සහාය පළකරන අන්දමින් අදහස් පළකර ඇත.

කෙසේවෙතත් ජනාධිපති ධූරයට තරග කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා අවසන් තීරණයක් ගෙන නොමැති බවත්, සජබ විනාශ කිරීමට උනන්දුවක් දක්වන පාර්ශ්වයන් විසින් ඇතැම් කතා වපුරන බවත්, ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකාගේ ලේකම් ජගත් කුමාර සඳහන් කර ඇත.

42.31%
17.27%
32.76%