January 18, 2024

මෙරට දකුණු වෙරළ තීරයේ ප්‍රධාන සංචාරක නිකේතනවලට සංස්කෘතික හා සූපශාස්ත්‍ර වැඩසටහන් හඳුන්වාදෙමින් ඉහළ වියදම් සහිත සංචාරකයන් ආකර්ෂණය කරගැනීමට ශ්‍රී ලංකාව සැලසුම් කර තිබේ.

“අපගේ ඉලක්කය වන සංචාරකයන් මිලියන 05න් මිලියන 2.5ක් ඩොලර් 200ක් වියදම් කරනවාට වඩා, ඩොලර් 500ක් වැයකරන ඉහළපෙළේ සංචාරකයන් ඉලක්ක කර ගැනීමට අපට අවශ්‍යයි,” ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති චාලක ගජබාහු පවසයි.

මෙම වැඩසටහන් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ යුරෝපා සංගමයේ හිටපු උපදේශකයකු වන නිරංජන් දේව ආදිත්‍යගේ ද සහාය ලැබේ.

“මෙම වැඩසටහන් මගින් පෙන්නුම් කරන්නේ අපි නැවතත් සංචාරක ලෝක සිතියමට පැමිණ ඇති බව” යැයි නිරංජන් දේව ආදිත්‍ය සඳහන් කරයි.

‘ගාලු ප්‍රසංගය’ ලෙස නම් කර ඇති මේ සඳහා ස්වාධීන වැඩසටහන් කිහිපයක් ඇතුළත් වේ.

ඒ අනුව, අන්තර්ජාතික සහ දේශීය කතුවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ගාලු සාහිත්‍ය උළෙල ජනවාරි 25 සිට 28 දක්වා පැවැත්වෙනු ඇත.

ගාලු සාහිත්‍ය උළෙලේ සහ ගාලු ප්‍රසංගයේ සංවිධායක ට්‍රේසි හොල්සිංගර් පැවසුවේ අන්තර්ජාතික සූපවේදීන් දේශීයව ලැබෙන අමුද්‍රව්‍ය සමඟ ඔවුන්ගේ අමුත්තන්ට ආහාර පිසිනු ඇති බවයි.

මේ සඳහා පීටර් කුරුවිට වැනි සූපවේදීන් පැමිණෙන අතර එය රස සාගරයක් වනු ඇති බව සංවිධායකයන්ගේ අදහසයි.

ගාලු සාහිත්‍ය උළෙල ප්‍රදර්ශන කුටි 72කින් සහ ප්‍රකාශකයන් කිහිප දෙනෙකුගෙන් සමන්විත වන බව ජනාධිපති ලේකම් කාර්යාලයට අනුයුක්තව කටයුතු කරන එඩ්වඩ් රොබින්සන් පවසයි.

ගාලු සාහිත්‍ය උළෙලට දිනකට අවම වශයෙන් අමුත්තන් 3,500ක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

“රුහුණු විශ්වවිද්‍යාලයේ මාතර කලා උළෙලේ පළමුවැන්නත් පවත්වන්න අපි සූදානම් කර තිබෙනවා. එහිදී නුතන චිත්‍ර ප්‍රදර්ශනය කෙරෙනවා ” මාතර කලා උළෙලේ සම නිර්මාතෘ චංචලා ගුණවර්ධන ප්‍රකාශ කරයි.

ජෙෆ්රි බාවාගේ නිර්මාණ පිළිබඳ මාර්ගෝපදේශ සංචාර මෙම උළෙලට ඇතුළත් වන බව ද ඇය සඳහන් කළාය.

තංගල්ල අනන්තරා හෝටලයේ දී ඔපෙරා සැණකෙළියක් සහ පංති ද පැවැත්වීමට සැලසුම් කර ඇත.

උත්සවයේ සංවිධායක රොබර්ටෝ සිමෝන් පවසන්නේ, නවසීලන්තයේ සහ එක්සත් ජනපදයේ කලාකරුවන් ඊට සහභාගී වන බවයි.

2023දී ශ්‍රී ලංකාවට සංචාරකයන් මිලියන 1.48ක් පැමිණ ඇති අතර 2024 දී එය සංචාරකයන් මිලියන 2.3ක් ලෙස ඉලක්ක කර තිබේ.

“අපි ඉලක්ක කරන්නේ මිලියන 2.3ක්. නමුත් අපි හිතන්නේ මිලියන 2.5ක් එයි කියලා” ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති චාලක ගජබාහු පවසයි.

ජනවාරි මාසයේ මුල් දින 15 තුළ සංචාරකයන් 101,362ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර පසුගිය වසරේ එම මුළු මාසය සඳහාම පැමිණ තිබුණේ සංචාරකයන් 102,545ක් පමණි.

 

 

 

42.31%
17.27%
32.76%