July 16, 2024

හෙරොයින් ග්‍රෑම් 210ක් ළඟ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රජයේ පාසලක අනධ්‍යන කාර්ය මණ්ඩල සාමාජිකාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාරිය ඊයේ (15) සවස වැලිගම පොලිස් වසමේ බෝධිමළුව විහාරස්ථානය අසලදී මාතර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙනිපිටිය ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි තැනැත්තියකි.

අයගම ප්‍රදේශයේ රජයේ පාසලක අනධ්‍යන කාර්ය මණ්ඩල සාමාජිකාවක් ලෙස සේවය කරන ඇය සංවිධානාත්මක අපරාධවලට සහ මිදිගම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධව කටයුතු කර ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි.

සැකකාරිය මෑතක සිට මත්ද්‍රව්‍ය ජාවාරම ආරම්භ කර ඇති බවත්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ උපදෙස් පරිදි ඒවා බෙදාහරින බවත් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

ඇයගෙන් මත්ද්‍රව්‍ය ලබාගත් පුද්ගලයන් කුඩා පරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට ද සම්බන්ධ වූවන් බව පැවසේ.

සැකකාරියට ලබා දී ඇති මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ළඟ තබාගෙන ඒවා විදේශගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් නම් කරන පුද්ගලයින් අතර අවශ්‍ය ප්‍රමාණවලින් බෙදාහැරීමට කටයුතු කර ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි.

සැකකාරිය පාසලක රැකියාවක නිරතව සිටියද ඇය මෙම නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධයෙන් පාසල භාවිත කර ඇති බවට කිසිදු සාක්ෂියක් නොමැති බවත්, ඇය ඇබ්බැහි වූවන්ට ඍජුව මත්ද්‍රව්‍ය අලෙවි කර නොමැති බවත් පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් මාතර අපරාධ කොට්ඨාසය සහ වැලිගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

42.31%
17.27%
32.76%