August 27, 2024

ආපදා කළමනාකරණ අමාත්‍යාංශයට අයත් වාහනයක් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවට වරද පිළිගත් හිටපු ඇමැති ඒ.එච්.එම්.ෆවුසිට කොළඹ මහාධිකරණය වසර දෙකක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් සහ වසර 10කට අත්හිටුවා තිබේ.

අදාළ නඩුව අද (27) කැඳවූ අවස්ථාවේදී අධිකරණය විසින් හිටපු ඇමැතිවරයාට රුපියල් ලක්ෂ හතරක දඩයක් ද නියම කර තිබේ.

රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් සුඛෝපභෝගී වාහනයක් සන්තකයේ තබාගැනීම සහ පෞද්ගලික පරිහරණය සම්බන්ධයෙන් හිටපු ඇමැති ෆවුසිට චෝදනා එල්ල විය.

2010 වසරේ ආපදා කළමනාකරණ ඇමැතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී නෙදර්ලන්තයෙන් ආපදා කළමනාකරණ අමාත්‍යාංශයට රුපියල් මිලියන 20ක් ලැබී තිබේ.

ඊට අමතරව අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් පොළඹවාගෙන වාහනය නඩත්තුව සඳහා මුදල් අමාත්‍යාංශයේ මුදලින් රුපියල් ලක්ෂ 10කට ආසන්න මුදලක් වැය කිරීම සම්බන්ධයෙන්ද ඔහු වරදකරු විය.

කෙසේවෙතත් අදාළ නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදී ෆවුසි සිය නීතිඥවරයා මාර්ගයෙන් චෝදනාවලට වරද පිළිගෙන තිබිණි.

පසුව වසර 62ක දේශපාලන පළපුරුද්දක් ඇති ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු සුළු කොට තැකිය නොහැකි බව පෙන්වා දුන් මහාධිකරණ විනිසුරුවරයා මූලික අවස්ථාවේදී වරද පිළිගැනීමත්, ඔහු මේ වනවිට වයස අවුරුදු 86ක වයෝවෘද්ධ පුද්ගලයකු වීමත් සළකා බලමින්, හිටපු ඇමැතිවරයාට සහන දඬුවමක් දෙන බව ප්‍රකාශ කර ඇත.