June 6, 2024

විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත අද (06) පාර්ලිමේන්තුවේදී ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත අතර පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එහිදී උභතෝකෝටිකයකට මුහුණදෙනු ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැයි 12 වැනි දින ප්‍රකාශයක් කරමින් සැප්තැම්බර්/ඔක්තෝබර් යන දිනවල පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය අවසන් වන තෙක් රාජ්‍ය ආයතන විකිණීම නතර කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටීමෙන් පසු, එවැනි කරුණක් සඳහා පැවැත්වෙන පළමු ඡන්දය මෙය වේ.

එම ප්‍රකාශය පසුබිම් කරගෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායමට කිසිදු තත්ත්වයක් යටතේ මෙම පනත් කෙටුම්පතට ඡන්දය ප්‍රකාශ කළ නොහැකිය.

ඊට හේතුව මෙම කෙටුම්පත මගින් ලංකා විදුලි බල මණ්ඩලය පෞද්ගලිකකරණය(විකිණීම) සඳහා යෝජනාවී ඇති බැවිනි.

2022 ජූලි මාසයේදී ගෝඨාභය රාජපක්ෂගේ පස් අවුරුදු ධූර කාලය සම්පූර්ණ කිරීම සඳහා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ඡන්දයෙන් තේරී පත් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පොහොට්ටුවේ මන්ත්‍රීවරු කොපමණ දෙනෙක් තම පක්ෂපාතීත්වය මාරු කර ඇත්දැයි මෙම ඡන්දයෙන් හෙළි වනු ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තවමත් පාර්ලිමේන්තුව නියෝජනය කරන විශාලතම කණ්ඩායම බැවින්, මතභේදයට තුඩු දී ඇති විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීමෙන් පක්ෂයේ ඉරණම තීරණය වනු ඇත.

මේ වන විටත් මෙම පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

එම සංශෝධන සහිතව, කිසිදු නව සංශෝධනයකින් තොරව කෙටුම්පත ඡන්ද විමසීමට ඉදිරිපත් කරන බව විෂය භාර ඇමැති කංචන විජේසේකර ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

42.31%
17.27%
32.76%