December 3, 2023

මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය මෙරට අධිකරණ පද්ධතියට පළමු වරට ඇතුළත් කිරීමට නීතිපතිවරයා කටයුතු යොදා තිබේ.

ඒ, පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල සහ ඔහුගේ ආරක්ෂකයා ඝාතනය කිරීමේ නඩු විභාගය වෙනුවෙනි.

ඒ අනුව පසුගිය වසරේ මැයි 09 වැනිදා ‘අරගලය’ විරෝධයේ උච්චතම අවස්ථාවකදී නිට්ටඹුවේදී සිදු වූ ඝාතන සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අධිචෝදනා ලබා ඇති විත්තිකරුවන් හඳුනාගැනීමට මෙම තාක්ෂණය යොදාගැනේ.

ගම්පහ මහාධිකරණයේදී පසුගිය සිකුරාදා නඩු විභාගය ආරම්භ වූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජානක ප්‍රසන්න බණ්ඩාර අධිකරණයට දන්වා සිටියේ නඩු විභාගය අතරතුර නීතිපති දෙපාර්තමේන්තුව නව තාක්ෂණය හඳුන්වාදෙන බවයි.

මෙමගින් සිද්ධියට අදාළ සීසීටීවී දර්ශන විශ්ලේෂණය කිරීමටත්, එම දර්ශනවල දක්නට ලැබෙන අයගේ මුහුණු විත්තිකරුවන්ට ගැළපේදැයි පරීක්ෂා කිරීමටත්, විත්තිකරුවන් සත්‍ය වශයෙන්ම අපරාධයට සම්බන්ධදැයි හඳුනාගැනීමටත් දෙපාර්තමේන්තුවට හැකිවනු ඇතැයි ඔහු පැවසීය.

අපරාධයට වගකිවයුත්තන් හඳුනාගෙන ඔවුන්ට දඬුවම් ලබාදීම සහතික කිරීම මෙහි අරමුණ බව ඔහු පැවැසීය.

මෙම නඩුවේදී විත්තිකරුවන් 41දෙනකුට චෝදනා 14ක් යටතේ අධිචෝදනා ගොනුකර තිබේ.

මින් විත්තිකරුවන් දෙදෙනකු මියගොස් ඇති අතර තවත් දෙදෙනකු නොපැමිණීම සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇත.

එම විත්තිකරුවන්ගෙන් එක් අයෙක් විදේශගතව සිටින බව පැහැදිලි වී ඇති අතර අනෙක් පුද්ගලයා තවමත් අත්අඩංගුවට ගෙන නොමැත.

මහාධිකරණ විනිසුරුවරුන් වන සහන් මාපා බණ්ඩාර (සභාපති), රශ්මි සිංගප්පුලි සහ රුවන් පතිරණ යන පිරිසගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩු විභාගය පැවැත්වේ.

සිකුරාදා අධිචෝදනා පත්‍ර කියවීමෙන් පසු සියලුම විත්තිකරුවන් නිවැරැදිකරුවන් බව ප්‍රකාශකර තිබිණි.

42.31%
17.27%
32.76%