April 21, 2025

එක්ස්ප්‍රස් පර්ල් අනතුර සම්බන්ධයෙන් අධිචෝදනා ලැබ සිටින විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව සාක්ෂි විභාගය මැයි 15 වැනි දින නැවත ආරම්භ කළ හැකි බව කොළඹ මහාධිකරණ විනිසුරු සංජීව නිශ්ශංක ප්‍රකාශ කර තිබේ.

මූලික විරෝධතාවක් හේතුවෙන් නඩුව අත්හිටුවා තිබිණි.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් ගොනු කළ මෝසමක් සළකා බැලීමෙන් පසු විනිසුරුවරයා මෙම නියෝගය ලබා දුන්නේය.

ඒ අනුව, කොළඹ වරායේ හාබර් මාස්ටර් කපිතාන් නිර්මාල් සිල්වාට පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි දීම සඳහා මැයි 15 වැනි දින අධිකරණයේ පෙනී සිටින ලෙස විනිසුරුවරයා නියෝග කළේය.

පළමු විත්තිකරු වන එක්ස්ප්‍රස් පර්ල් සමාගමේ රුසියානු කපිතාන් විටාලි ටියුට්කාලෝ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිපුන විමලසේකර අධිකරණයට දැනුම් දුන්නේ තම සේවාදායකයාට රට තුළ රැඳී සිටීම සඳහා වීසා දීර්ඝ කළ යුතු බවයි.

ඉල්ලීම සළකා බැලූ අධිකරණය, අධිකරණය භාරයේ තිබූ විත්තිකරුගේ විදේශ ගමන් බලපත්‍රය, ඔහුගේ වීසා දීර්ඝ කළ හැකි වන පරිදි නිදහස් කරන ලෙස නියෝග කළේය.

ඔහුගේ වීසා දීර්ඝ කළ පසු විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට යළි භාර දෙන ලෙස ද ඔහුට නියෝග කරන ලදී.