June 28, 2023

පොළොස් ගෙඩි අපනයනය වෙනුවට විවිධ රස වර්ග එක්කර එක් එක් රටවලට ආවේණික ආහාර ක්‍රම අනුව පොළොස් සකස් කර අපනයනය කිරීම හරහා විශාල විදේශ විනිමයක් ඉපයීමේ හැකියාව පවතින බව අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කරයි.

මේ වන විටත් අපනයන සංවර්ධන මණ්ඩලයේ මඟපෙන්වීම ඔස්සේ නිර්මාංශ ආහාරයක් ලෙස පොළොස් අපනයනය කරනු ලබන අපනයනකරුවන් සිටින බවත් ඒ හරහා ඔවුන් වාර්ෂිකව ඩොලර් ලක්ෂ පහක පමණ ආදායමක් ලබන බවත් අපනයනය සංවර්ධන මණ්ඩලය පැවසීය.

පසුගිය 2017 වසරේදී අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ආරම්භ කරන ලද නව අපනයන සංවර්ධන වැඩසටහන හා එකතුවූ අපනයනකරුවන් විසින් මේ වන විට ප්‍රධාන වශයෙන් ජර්මනිය වෙත පොළොස් නිෂ්පාදන අපනයනය කරන අතර ඊට අමතරව ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව ,ඉතාලිය වෙත මෙම නිෂ්පාදන අපනයනය කරනු ලබයි.

ආහාරයක් ලෙස පොළොස් අපනයනය දිගු කාලසීමාවක සිට සිදුවන බවත් ඒ සඳහා විදෙස් රටවලින් ලැබෙන ඉල්ලුම දිනෙන් දින ඉහළ යමින් ඇති බවත් පැවසූ අපනයන සංවර්ධන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ මේ හරහා සෘජු හා වක්‍ර රැකියා විශාල ප්‍රමාණයක්ද උත්පාදනය වී ඇති බවයි.

විදෙස් වෙළඳපළෙහි මස් ආශ්‍රිත නිෂ්පාදන සඳහා විකල්පයක් ලෙස පොළොස් අපනයනයට අපනයන සංවර්ධන මණ්ඩලය විසින් අවශ්‍ය උපදෙස් ලබාදීමෙන් පසුව මේ වන විට අපනයනකරුවන් විසින් දිනකට පොළොස්ගෙඩි 1500ක් පමණ අපනයන කරන අතර ඔවුන් මේ හරහා ඉහළ ආදායමක් ලබමින් කර්මාන්ත මට්ටම දක්වා අපනයන ක්‍රියාවලිය වර්ධනය කරගෙන ඇත.

(අරුණ පුවත්පත)