March 20, 2024

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවෙන් විපක්ෂයේ මන්ත්‍රීවරු සියලුදෙනාම නික්ම ගියද, ගණපූර්ණ සංඛ්‍යාව පවත්වා ගැනීමට රජයේ නියෝජනය ප්‍රමාණවත් බැවින් කමිටුවේ සාකච්ඡා පැවැත්වීම කෙරෙහි කිසිදු බලපෑමක් ඇති නොවනු ඇති බව වාර්තා වේ.

විවිධ සංස්ථා, කාර්යාංශය වැනි ව්‍යවස්ථාපිත මණ්ඩලවල මූල්‍ය කටයුතු පරීක්ෂා කිරීමට බලය පැවරී ඇති කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පත්කිරීමට විරෝධය පළකරමින් විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් දසදෙනකු ඉල්ලා අස්වී තිබේ.

ඔවුන් ඉල්ලා අස්වීමට හේතු ලෙස ප්‍රකාශ කර තිබුණේ දූෂණ චෝදනාවලින් කිලිටි වූ නමක් ඇති සභාපතිවරයකු යටතේ වැඩ කිරීම කණස්සල්ලට හේතුවක් බවයි.

කෙසේවෙතත්, ඔවුන්ගෙන් තුන්දෙනෙකු පමණක් ඊයේ පාර්ලිමේන්තු බලධාරීන්ට නිල වශයෙන් ඉල්ලා අස්වීමේ ලිපි භාරදී තිබුණු බව වාර්තා විය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉරාන් වික්‍රමරත්න, දයාසිරි ජයසේකර, මහාචාර්ය චරිත හේරත්, එස්. එම්. මරික්කාර්, ගාමිණී වලේබොඩ, හේෂා විතානගේ සහ ශානකියන් රාජපුතීරන් රාසමානික්කම්, වසන්ත යාපා බණ්ඩාර, අනුර දිසානායක සහ දුමින්ද දිසානායක මේ වන විට සිය ඉල්ලා අස්වීම් ප්‍රකාශ කර ඇත.

කෝප් කමිටුව සාමාජිකයන් 31 දෙනෙකුගෙන් යුත් කමිටුවකි.

වත්මන් කමිටුව තුළ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 19 දෙනෙක් සහ විපක්ෂයෙන් 11 දෙනෙක් සිටිති.

කෙසේවෙතත්, ගණපූරණය සඳහා අවශ්‍ය වන්නේ මන්ත්‍රීවරුන් හතරදෙනෙකු පමණි.

එනම් සියලුම විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලා අස්වීම පවා කෝප් කමිටුවේ කාර්යයන්ට බල නොපානු ඇති බව වාර්තා වේ.

42.31%
17.27%
32.76%