53.84%
19.85%
20.11%
August 19, 2024

සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා යුරෝපා සංගමයේ සහ පොදුරාජ්‍ය මණ්ඩලයේ මැතිවරණ නිරීක්ෂකයන් පිරිසක් මෙරටට පැමිණ ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඔවුන් මෙරට පැමිණ සිටින්නේ මැතිවරණ කොමිසමේ ආරාධනයකට අනුවය.

යුරෝපා සංගමය මීට පෙර හය වතාවක් ශ්‍රී ලංකාවේ මැතිවරණ නිරීක්ෂණ සිදු කර ඇති අතර අවසන් වරට 2019 ජනාධිපතිවරණයේදී ඔවුන් නිරීක්ෂණ කටයුතු සඳහා එක්වී තිබිණි.

එම නිරීක්ෂක කණ්ඩායමේ ප්‍රධානියා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ “මේ වසරේ ශ්‍රී ලංකාවේ මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා එක්වීම මගින් අප පෙන්නුම් කරන්නේ රට තුළ විශ්වසනීය, විනිවිද පෙනෙන, සියල්ලන් ඇතුළත් සහ සාමකාමී මැතිවරණයකට සහාය දැක්වීම සඳහා අපගේ දිගුකාලීන කැපවීමයි” යනුවෙනි.

2022 වසරේ ඇති වූ දේශපාලන හා ආර්ථික අර්බුදයෙන් පසු ඉදිරි ජනාධිපතිවරණය මගින් ප්‍රජාතන්ත්‍රවාදයට නව ජවයක් ලබා දෙනු ඇති බව ද ඔහු සඳහන් කර තිබේ.

යුරෝපා සංගමයේ නිරීක්ෂක කණ්ඩායම විවිධ නිරීක්ෂක කණ්ඩායම්වලින් සමන්විත වේ.

නියෝජ්‍ය ප්‍රධාන නිරීක්ෂකයකු සහ මැතිවරණ විශේෂඥයන් 9 දෙනෙකුගෙන් යුත් මූලික කණ්ඩායම මේ වන විට කොළඹට පැමිණ සිටින අතර, දිගුකාලීන නිරීක්ෂකයන් 26 දෙනෙකු නිරීක්ෂණ කටයුතු සඳහා රට පුරා යෙදවීමට නියමිතය.

ඉන්පසුව, කෙටි කාලීන නිරීක්ෂකයන් 32 දෙනෙකු මැතිවරණ සතියේ නිරීක්ෂණ මෙහෙයුම ශක්තිමත් කරමින් රට පුරා ද යොදවනු ලැබේ.

වසර 5ක ධුර කාලයක් සඳහා විධායක ජනාධිපතිවරයකු තෝරා පත්කර ගැනීමට සෘජු ඡන්දයක් සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට ලියාපදිංචි ඡන්ද දායකයන් මිලියන 17.1කට වැඩි පිරිසක් මෙවර සුදුසුකම් ලබා සිටිති.

53.84%
19.85%
20.11%