April 7, 2024

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රි ලංකා රුපියලේ අගය තවදුරටත් ඉහළ යෑමත් සමඟ එහි ප්‍රතිලාභ ආහාර ද්‍රව්‍ය ඇතුළු ආනයනික භාණ්ඩ හරහා පාරිභෝගිකයන් වෙත ලබාදීමට පියවර ගන්නා ලෙස වෙළෙඳ අමාත්‍යාංශයට උපදෙස් දී තිබේ.

ඉදිරි මාස දෙක ඇතුළත විදේශ විනිමය අනුපාතිකය අමෙරිකානු ඩොලරයක් සඳහා රුපියල් 280 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව භාණ්ඩාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් උපුටා දක්වමින් ‘සන්ඩේ ටයිම්ස්’ වාර්තා කර ඇත.

යෝජිත නව ක්‍රියාමාර්ග සමඟින් ආනයනික භාණ්ඩවල මිල අඩු කිරීමට වෙළෙඳුන් අපොහොසත් වුවහොත් භාණ්ඩ සඳහා මිල පාලනයක් පැනවීම ඇතුළු දැඩි ක්‍රියාමාර්ග ගැනීමට රජයට සිදුවිය හැකි බවද ඔහු පවසා තිබේ.

විදේශ ප්‍රේෂණ වැඩිවීම සහ සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම රුපියලේ අගය ඉහළ යෑමට බලපෑ සාධක අතර වූ බව ද එම නිලධාරියා පැවසීය.

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව මෙම වසරේ පෙබරවාරි 29 වැනිදා දක්වා කාලය තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 4.4% කින් ඉහළ ගොස් තිබේ.

වෙළඳපොල මිල අඩු මට්ටමක තබා ගැනීම සඳහා පිටි, සීනි, ළූණු, පරිප්පු සහ කිරි ආහාර ඇතුළු භාණ්ඩ ආනයනය කිරීම සඳහා තරඟකාරී වෙළඳාම ඉහළ නැංවීම සඳහා වන යෝජනාවක් සඳහා වෙළඳ අමාත්‍යාංශය හෙට කැබිනට් අනුමැතිය ලබාගැනීමට නියමිතයි.

පාරිභෝගිකයින්ට උපරිම ප්‍රතිලාභ සැලසීම සඳහා ආනයනය කරන අවස්ථාවේ භාණ්ඩ මිල ගණන්, වරායෙන් මුදාහරින වේලාව සහ භාණ්ඩ දේශීය වෙළඳපොළට පැමිණෙන විට අවසන් මිල ගණන් පිළිබඳව පුළුල් ප්‍රචාරයක් ලබාදීමට මෙම යෝජනාවෙන් අනුමැතිය ඉල්ලා ඇති බව වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් ඒ.එම්.පී.එම්.බී. අතපත්තු පවසා ඇත.

පසුගිය මාස කිහිපය තුළ රුපියලට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලරයේ විනිමය අනුපාතිකය පහළ ගියද මිල ඉහළ මට්ටමක පැවතීමත් සමඟ එහි ප්‍රතිලාභය පාරිභෝගිකයන් වෙත ලැබී නොමැති බව වෙළෙඳ පොළ විශ්ලේෂණවලින් පෙනීයෑමෙන් පසු මෙම තීරණය ගෙන ඇති බව ද ඔහු පවසා තිබේ.

එහෙත් ඇතැම් වෙළඳුන් මිල වෙනස් නොකර අමතර සුපිරි ලාභයක් තබා ගන්නා බව ද ඔහු පෙන්වා දෙයි.

එමෙන්ම වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් ඒ.එම්.පී.එම්.බී. අතපත්තු පවසන්නේ, ආනයනික මිල අඩු කිරීමේ ප්‍රතිලාභ පාරිභෝගිකයන් වෙත ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙස මුදල් අමාත්‍යාංශය, වෙළෙඳ අමාත්‍යාංශයට උපදෙස් දී ඇති බවයි.

ඒ අනුව, සෑම අඟහරුවාදා දිනකම භාණ්ඩ මිල ගණන් ප්‍රසිද්ධියට පත්කරන අතර එමඟින් පාරිභෝගිකයින්ට වෙළඳපල මිල පිළිබඳ දැනුමක් ලබාගැනීමටත් අනෙකුත් වෙළඳුන්ට භාණ්ඩ මිල ස්වයංක්‍රීයව පහත වැටීම සහතික කිරීම සඳහා ආනයන වෙළඳපොළට ඇතුළු වීමටත් හැකි වේ.

වෙළඳ අමාත්‍යාංශය මෙම සතියේ ප්‍රධාන ආනයනකරුවන්ට කැඳවීමක් සිදුකර මෙම පියවර පිළිබඳව ඔවුන් දැනුවත් කර ඇත.

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් ඉහළයෑම සැලකිල්ලට ගනිමින් සහ එහි වාසිය ජනතාව වෙත ලබාදීමේ අරමුණින් මෙම නව නියෝගය නිකුත් කළ බව භාණ්ඩාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසා තිබේ.