March 18, 2024

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න අද (මාර්තු 18) සිට ක්‍රියාත්මක වන පරිදි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුවෙන් (COPE) ඉල්ලා අස්වී තිබේ.

ඔහු මීට පෙර පාර්ලිමේන්තු කෝප් කමිටුවල කටයුතු කර ඇති අතර පසුගියදා පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීමෙන් අනතුරුව යළි කෝප් කමිටුවේ සාමාජිකයකු ලෙස පත් කර සිටියේය.

“රජයට මූල්‍යමය කොටස් හිමිවන රාජ්‍ය සංස්ථා සහ අනෙකුත් අර්ධ රාජ්‍ය ආයතනවල මුල්‍ය විනය පිළිපැදීම සහතික කිරීම සඳහා කෝප් කමිටුව පිහිටුවා තිබෙනවා. ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයකු එහි සභාපතිවරයා ලෙස පත්කිරීමෙන් ආණ්ඩුවේ විධායක හස්තය පාලනය කිරීමේ අරමුණු ඉටුකර ගැනීමට කමිටුව අපොහොසත් වනවා” යැයි ඔහු නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

2015-2019 ආණ්ඩුව කෝප් සහ කෝපා යන ප්‍රධාන කාරක සභා දෙක සඳහා විපක්ෂයෙන් සභාපතිවරුන් පත්කිරීමේ හොඳම පිළිවෙතක් අනුගමනය කළ බව වික්‍රමරත්න මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

“පරීක්ෂා කරන ලද ගිණුම්, අයවැය සහ ඇස්තමේන්තු, මූල්‍ය ක්‍රියා පටිපාටි, සංස්ථා සහ අනෙකුත් රජයේ ව්‍යාපාරික ආයතනවල කාර්ය සාධනය සහ කළමනාකරණය පිළිබඳ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම කාරක සභාවේ වගකීමයි. කෝප් කමිටුව පිහිටුවා වසර 45ක් ගතවන විට එය අතිරික්ත කමිටුවක් බවට පත්වී තිබෙනවා. ස්ථාවර නියෝගවල සීමාවන් හේතුවෙන් අක්‍රමවත් කළමනාකරණය සහ දූෂණ බොහෝ දුරට පාලනයකින් තොරව සිදුවී තිබෙනවා. ස්ථාවර නියෝග පුළුල් කළ යුතුයි, අක්‍රමිකතා සහ වංචා ආලෝකයේ ඇති විට ඒවා සෘජුවම නීතිපතිවරයා වෙත ළඟා විය යුතු අතර අල්ලස් කොමිසම ක්‍රියාත්මක විය යුතුයි. ස්ථාවර නියෝග සීමා කරමින් රජය එම ක්‍රියාවලිය අවහිර කරනවා , ඒ අනුව කෝප් කමිටුවේ ක්‍රියාකාරීත්වය දැන් ප්‍රශ්නයට ලක් වී තිබෙන්නේ” යනුවෙන්ද මන්ත්‍රීවරයා පවසයි.

කෝප් කමිටුවේ 31 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමට හෝ සභාපතිවරයා ලෙස පත්කරන සාමාජිකයන් චෝදනා සහ/හෝ වැරදිවලට සම්බන්ධ අය නොවිය යුතු බවත් ශේෂයන් පරීක්ෂාව පිළිබඳ දළ විශ්ලේෂණයක් කරන කමිටුවකට පත්කරන්නන් පිළිබඳ සුදුසුකම් සහ නුසුදුසුකම් පැහැදිලිව දක්වා තිබිය යුතු බවත් මන්ත්‍රීවරයා පැවසීය. .

පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න කියා සිටියේ කෝප් කමිටුවේ විෂය පථය පිළිබඳ යළි සොයාබැලීමටත් ස්ථාවර නියෝග පුළුල් කිරීමටත් කමිටුවට බලපෑම්කාරී වැඩකටයුතු කිරීමට සහ යහපාලන පිළිවෙත් වැලඳ ගනිමින් ඉදිරියට යෑමට අවස්ථාව සැලසීමටත් කාලය එළඹ ඇති බවයි.

“නීත්‍යනුකූල භාවයක් නොමැති වත්මන් රජය මෑතකාලීන පත්වීම් මගින් වැරදි කළමනාකරණය සහ දූෂණය වසන් කිරීමට සහ ආරක්ෂා කිරීමට පෙනී සිටීමෙන් සත්‍යය වසන් කරන බව පැහැදිලිය,” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

ඉරාන් වික්‍රමරත්න මෙලෙස ඉල්ලා අස්වන්නේ කෝප් කමිටුවේ සභාපති ධුරයට රෝහිත අබේගුණවර්ධන පත්කර ඇති පසුබිමකය.

42.31%
17.27%
32.76%