October 25, 2024

මෑත කාලීන බුද්ධි අංශ වාර්තා අනුව රටේ පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට රජය අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවට ජනාධිපති අනුර කුමාර දිසානායක ජනතාවට සහතික විය.

සති දෙකකට පෙර බුද්ධි තොරතුරු ලැබුණු වහාම බලධාරීන් ක්‍රියාත්මක වූ බවත්, එම තොරතුරු සම්බන්ධයෙන් පුද්ගලයන් කිහිපදෙනකු රඳවා තබාගත් බවත් ඔහු අවධාරණය කළේය.

සිදුවිය හැකි සිදුවීම් වළක්වා ගැනීමේ උත්සාහයක් ලෙස මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව ඔහු පැවැසීය.

ඉදිරි මහමැතිවරණය වෙනුවෙන් පුත්තලමේ පැවැති ජාතික ජන බලවේගයේ රැළියක් අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළකළේය.

එහිදී ජනාධිපතිවරයා මෙසේද පැවැසීය.

“අපි අදාළ ප්‍රදේශවල ආරක්ෂාවක් තහවුරු කරන්න කටයුතු කරලා තියෙනවා. සැකයට තුඩු දෙන කිහිපදෙනෙක් අත්අඩංගුවට ගන්නත් අපි කටයුතු කරලා තියෙනවා. හැබැයි ප්‍රවෘත්ති පළ වුණේ නෑ. ලංකාවේ සියලුම පුරවැසියන්ගේ ආරක්ෂාව අපි තහවුරු කරලා තියෙනවා.

අපි දන්නවා මේ වෙනකොට ලෝකයේ යම්කිසි යුද ගැටුමක් නිර්මාණය වෙලා තියෙනවා. එහි යම් යම් අවදානම්කාරී තත්ත්වයන් ලංකාවටත් ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන් මීට සති දෙකකට පමණ පෙර, අපිට වාර්තා වුණා ලෝකයේ ඇතිවී තිබෙන යුද ගැටුමේ යම් දෙයක් ලංකාවෙත් සිදුවිය හැකියි කියලා. අපි අදාළ ස්ථානවල වේගයෙන් ආරක්ෂාව තහවුරු කළා.

අපි බුද්ධි අංශ තොරතුරු එනකොට මාධ්‍ය සාකච්ඡා තියන්නේ නැහැ. බුද්ධි අංශ තොරතුරු එනකොට අපේ වගකීම තමයි ඒ තොරතුරු වලට අනුරූප වන ආකාරයට කටයුතු කිරීම. අපේ වගකීම තමයි පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම. ඒ විතරක් නෙමෙයි ඒ බුද්ධි අංශය තොරතුරු මත වේගයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක කළා. ඒ සඳහා සැකයට තුඩුදෙන කිහිපදෙනෙක් අත්අඩංගුවට ගන්නත් අපි කටයුතු කළා. ආණ්ඩුවක් හැටියට අපේ වගකීම ඒක. හැබැයි අපි මාධ්‍ය සාකච්ඡා තිබ්බේ නැහැ. අපි ක්‍රමවත්ව සියලුම ශ්‍රී ලාංකීය පුරවැසියන්ගේ ආරක්ෂාව සහතික කරලා තියෙනවා.”

42.31%
17.27%
32.76%