July 31, 2023

බාල ඖෂධ යනුවෙන් ඖෂධ කාණ්ඩයක් ලොව කිසිම රටක නිශ්පාදනය නොකරනන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙරටට ගෙන්වනු ලබන්නේ අදාළ රටවල මෙන්ම ඖෂධ නියාමන අධිකාරියේ ද ලියාපදිංචි කළ ඖෂධ පමණක් බවත් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රත්නසිරි හේවගේ පවසයි.

ජනාධිපති මාධ්‍ය අංශය විසින් පැවැත්වූ ‘වන් – ඕ – වන් කතා’ වැඩසටහනට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කර ඇත.

ලෝකයේ විශිෂ්ඨතම සෞඛ්‍ය පද්ධතියක් සහිත මෙරට නිදහස් සෞඛ්‍ය ක්ෂේත්‍රය රැක ගැනීම රජයේ පමණක් නොව, සෞඛ්‍ය කාර්ය මණ්ඩල හා මහජනතාව මෙන්ම ජන මාධ්‍යයේ ද වගකීමක් බවද අධ්‍යක්ෂවරයා එහිදී පෙන්වාදුන්නේය.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කීර්තිය රැක ගැනීමට නම් එහි විශිෂ්ඨත්වය රැක ගත යුතු බවත්, එහිදී සෞඛ්‍ය පරිපාලකයන්ට වගකිව යුතු කාර්යභාරයක් පැවරෙන බවත් ඔහු පෙන්වාදෙයි.

“බාල ඖෂධ යනුවෙන් ඖෂධ කාණ්ඩයක් කිසිම රටක නිපදවන්නේ නෑ. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගෙන්වන්නේ ඒ ඒ රටවල ලියාපදිංචි කරන ලද, ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කළ ඖෂධ පමණයි. හදිසි මිල දී ගැනීමකදී වුවත් ගෙන්වන්නේ අදාළ රටවල ලියාපදිංචි ඖෂධ පමණයි.

රජයට හා පුද්ගලික අංශයට කියා වෙන වෙනම ඖෂධ නිශ්පාදනය කරන්නේ නැති බව විශේෂයෙන් කිව යුතුයි. ශ්‍රී ජයවර්ධනපුර රෝහල ගතහොත් මේ සියල්ල පිළිබඳ ඉහළ කළමනාකාරීත්වයක් තිබෙන රෝහලක් ලෙස හැඳින්විය හැකියි. මීට දින කිහිපයකට පෙරත් දැඩි ආසාත්මිකතාවයක් පවතින මාර්ගෝපදේශ මත නිසි ලෙස කළමනාකරණය කිරීමට අප කටයුතු කර තිබෙනවා. ඖෂධ පිළිබඳ බියක් ඇති කිරීම තුළින් සිදු වෙන්නේ විශාල හානියක්. මොකද පසුගිය කාලය තුළ වාර්තා වූ සිදුවීම් මේ වසරේ පමණක් සිදු වූ ඒවා නෙවෙයි. සාමාන්‍යයෙන් සෑම වසරකම එවැනි සිදුවීම් වාර්තා වෙනවා. ඖෂධ හෝ රෝහල්වලින් රෝගීන් ඈත් කර වීමට මෙවන් සිදුවීම් කිසිවෙකුත් භාවිතා නොකළ යුතුයි” යැයි විශේෂඥ වෛද්‍ය රත්නසිරි හේවගේ එහිදී වැඩිදුරටත් සඳහන් කරයි.