February 9, 2024

ඇඹිලිපිටිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට සහ ඔහුගේ පොලිස් රියැදුරුට පරුෂ වචනයෙන් බැනවැදී, පහරදීමට තැත්කර ඔවුන් දෙදෙනාගේ අත් සපාකෑ බීමත් ත්‍රිරෝද රථ රියැදුරකු ඇඹිලිපිටියේ සුපිරි වෙළෙඳසලක් ඉදිරිපිටදී පෙරේදා (07) රාත්‍රී කාලයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම 21 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඇඹිලිපිටිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ WPKX 5876 දරන පොලිස් දෙපාර්තමේන්තුවෙන් ඔහුට දී ඇති මෝටර් රථයේ නැඟී පොලිස් කොස්තාපල් රියැදුරු ජෙසුදාසන් (89809) සමඟ ඇඹිලිපිටියේ පිහිටි සුපිරි වෙළෙඳසලකට අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක් මිල දී ගැනීමට ගොස් තිබේ. එම අවස්ථාවේදී මෙම නිලධාරින් දෙදෙනාම සිට ඇත්තේ සිවිල් ඇඳුමින් බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

සුපිරි වෙළෙඳසලෙන් අවශ්‍ය භාණ්ඩ මිල දී ගෙන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා මෝටර් රථයට ගොඩවීමෙන් අනතුරුව රියැදුරු වාහනය සුපිරි වෙළෙඳසලේ රථ ගාලේ සිට පිටතට ගෙන ධාවනය කරන විට SG -AAH 8326 අංකය දරන ත්‍රිරෝද රථය එකවරම මඟ හරස් වන ලෙස මෝටර් රථය ඉදිරිපිට නතර කර ඇති බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

එහිදී පොලිස් කොස්තාපල්වරයා මෝටර් රථයේ සිට ත්‍රිරෝද රථයේ රියැදුරුට ත්‍රිරෝද රථය අයින් කර ගන්නා ලෙස දැනුම් දී ඇත.

එවිට ත්‍රිරෝද රථයේ රියැදුරු අසුනේ සිටි හැඩිදැඩි පුද්ගලයකු මෝටර් රථය අසලට පැමිණ පොලිස් රියැදුරාට පහරවල් කිහිපයක් එල්ල කර තිබෙන බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

එම අවස්ථාවේදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා මෝටර් රථයෙන් බැස තමන් පොලිසියෙන් බව හඳුන්වා දෙන අවස්ථාවේදී ඔහුට අසභ්‍ය වචනයෙන් බැණ වැදුණු එම පුද්ගලයා කලහකාරීව හැසිරී ඇත.

මෙම පුද්ගලයා බීමතින් සිටින බව පෙනීගිය බැවින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඔහුව අත්අඩංගුවට ගැනීමට සූදානම් වී ඇත.

එවිට ඔහු ගැටුමක් ඇති කර ගනිමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහගේ දකුණු අත සපාකා ඇත.

එය ව්‍යර්ථ කිරීමට පොලිස් රියැදුරු සූදානම් වීමේදී ඔහුගේ දෑතම මෙම පුද්ගලයා සපාකා තුවාල කර තිබේ.

දැඩි පරිශ්‍රමයකින් අනතුරුව එම අවස්ථාවේදී යෙදිය හැකි අවම බලය ද යොදා ඔහුව අත්අඩංගුවට ගත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා එම සැකකරුව ඇඹිලිපිටිය පොලිසියට භාරදී ඇත.

එම සැකකරු අවුරුදු 33ක් වයසැති ඇඹිලිපිටිය තුංකම පදිංචිකරුවෙකි. මෙම පුද්ගලයා සතුව තිබී දැලි පිහියක් ද පොලිසියට හමුවී ඇත.

යුද හමුදාවේ කලක් සේවය කර ඇති ඔහු කුට්ටිගල ප්‍රදේශයේ පැවති සංගීත සංදර්ශන භූමියකදී සිදුවූ ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින්නකු බවත් එම ඝාතනය මුල්කරගෙන හමුදාවෙන් ඉවත් කර ඇති අයකු බවත් විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

මෙම පුද්ගලයා විසින් කළ සපාකෑම්වලින් තුවාල ලබා සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාත් කොස්තාපල් රියැදුරුත් ඇඹිලිපිටිය රෝහලට ගොස් ප්‍රතිකාර ලබාගෙන ඇත. දත් පහරවල්වලින් සිරුර තුවාල වී ඇති බැවින් එහිදී එම නිලධාරීන් දෙදෙනාට එන්නත් ලබාදීමක් ද සිදු කර තිබේ.

සැකකරු ද තුවාල ලබා සිටි බැවින් ඇඹිලිපිටිය පොලිසියේ නිලධාරීන් ඔහුව ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර තිබිණි. ඊයේ (08) දිනයේත් ඔහු ඇඹිලිපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය.

ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට පොලිසිය මේ සම්බන්ධයෙන් කරුණු වාර්තා කර තිබිණි. සැකකරු පොලිස් ආරක්ෂාව සහිතව රෝහලේ ඊයේ සවස් වන විටත් ප්‍රතිකාර ලබමින් සිටියේය.

42.31%
17.27%
32.76%