December 19, 2023

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ 2024 අයවැය දෙවන වරටත් වැඩි ඡන්දයෙන් පරාජය වීම නිසා වත්මන් සභාපතිවරයාට එම තනතුර අහිමි වී ඇත.

දැනට දිවයිනේ ක්‍රියාත්මක එකම ප්‍රාදේශීය සභාව ඇල්පිටිය ප්‍රාදේශීය සභාව වන අතර, එහි බලය හිමිව ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටයි.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති කරුණාසේන පොන්නම්පෙරුමගේ ප්‍රධානත්වයෙන් අයවැය ඡන්ද විමසීම ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

සභාපතිවරයා විසින් 2024 වර්ෂය සඳහා වූ අයවැය පසුගිය 05 වැනිදා ප්‍රථම වරට සභාවට ඉදිරිපත් කළ අතර ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන් රැසකගේ සහායෙන් වැඩි ඡන්ද 09 කින් අයවැය පරාජයට පත්විය.

ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරු 07 දෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රීවරු 03ක් සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනා ද විපක්‍ෂය සමග එක්ව සභාපතිවරයාගේ දූෂිත අදූරදර්ශී ක්‍රියාකලාපය සහ සභාපති තනතුර අවභාවිත කරමින් කටයුතු කරන ආකාරය හෙළාදකිමින් අදහස් ප්‍රකාශ කර ඇත.

මෙම අවස්ථාවේදී සභාවේ උණුසුම් තතත්වයක් ද ඇතිවී ඇති අතර, අනතුරුව සභාපතිවරයා විසින් අයවැය පිළිබඳ ඡන්ද විමසීම පවත්වන ලෙසට, සභා ලේකම් බී. පී. අනුශා සුජානි ප්‍රියදර්ශනීට දැනුම් දී තිබේ.

ඒ අනුව අයවැයට පක්‍ෂව ඡන්ද 10ක් සහ විරුද්ධව ඡන්ද 19ක් ප්‍රකාශවී ඇති බවත්, ඒ අනුව වැඩි ඡන්ද 09කින් අයවැය පරාජයට පත්වූ බවත්, ලේකම්වරිය ප්‍රකාශ කර ඇත.

මේ අතර ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ දූෂිත ක්‍රියාකලාපයට එරෙහිව විරෝධය පළකරමින් සභාවේ ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරු පිරිසක් විපක්‍ෂයේ මන්ත්‍රීවරු පිරිසක් ද සමග ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට කළුපටි පැළඳ පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් පසුගිය 17 දා පෙරවරුවේ විරෝධතාවක් පවත්වා තිබේ.

ප්‍රාදේශීය සභාවේ 2024 වර්ෂය සඳහා වූ අයවැය පිළිබඳ විශේෂ සභා රැස්වීම සභාපති කරුණාසේන පොන්නම්පෙරුමගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර, මෙම විරෝධතාව, රැස්වීම පැවැත්වීමට පෙර පවත්වා ඇත.(දිවයින)

42.31%
17.27%
32.76%