June 8, 2024

ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා අන්තර්ජාල සේවා ශ්‍රී ලංකාව තුළ දියත් කිරීම සඳහා සුබවාදී ප්‍රතිචාරයක් ලැබීම පිළිබඳ ව්‍යාපාරික එලෝන් මස්ක් ජනාධිපති රනිල් වික්‍රමසිංහට ස්තුතිය පුදකර තිබේ.

ශ්‍රී ලංකාව තුළ ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා අන්තර්ජාල සේවා දියත් කිරීම සඳහා සති දෙකක මහජන උපදේශන කාලසීමාවක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) හරිත එළියක් ලබා දී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ X හි පණිවිඩයක් තබමින් සඳහන් කර තිබිණි.

“එය බොහොම අගය කරනවා,” යනුවෙන් එලෝන් මස්ක් වික්‍රමසිංහගේ X සටහනට ප්‍රතිචාර දක්වමින් ප්‍රකාශකර තිබේ.

මෙය ශ්‍රී ලංකාවේ සම්බන්ධතා ජාලයේ විප්ලවීය වෙනසක් ඇති කරන බවත්, විශේෂයෙන් ශ්‍රී ලාංකික තාරුණ්‍යයට නව ක්ෂිතිජයක් විවෘත කරන බවත් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පවසයි.

“වේගවත් සහ වඩා විශ්වාසදායක අන්තර්ජාලයක් සමඟින්, අපගේ තරුණ තරුණියන්ට ගෝලීය අධ්‍යාපන සම්පත් වෙත ප්‍රවේශ විය හැකියි, නව්‍ය ව්‍යාපෘති සඳහා සහයෝගීව කටයුතු කළ හැකියි සහ මෙම නව ඩිජිටල් යුගයේ දියුණුවට පත් විය හැකියි. අධ්‍යාපන සහ ධීවර ක්ෂේත්‍ර සඳහා සහන පැකේජ හඳුන්වා දෙනවා.” යනුවෙන් ඔහු පවසා ඇත.

ස්ටාර්ලින්ක් ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලාංකිකයන්ට විශේෂයෙන් විශ්වාසදායක, අධිවේගී අන්තර්ජාලය සමඟ සම්බන්ධව සිටීමට අරගල කරන අයට පිටිවහලක් වනු ඇතැයි ජනාධිපතිවරයා පවසයි.

“මෙම ප්‍රගතිය රට පුරා සම්බන්ධතාව සැළකිව යුතු ලෙස වැඩිදියුණු කරනු ඇති, එය ඩිජිටල් ආර්ථිකයට ඇතුළත් කිරීම සහ දුරස්ථ ප්‍රදේශවල සහ ස්වාභාවික විපත්වලදී සන්නිවේදනය පවත්වා ගැනීම සඳහා තීරණාත්මක වනවා,” යැයි ද ඔහු සඳහන් කරයි.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් මධුසංක දිසානායක මේ සතියේ පවසා තිබුණේ මෙම සේවාව සඳහා මූලික සැකසුම හෝ ලියාපදිංචි කිරීමේ පිරිවැය ඇමෙරිකානු ඩොලර් 400 සිට 600 දක්වා වන අතර මාසික ගාස්තුව ඩොලර් 99ක් වන බවයි.

42.31%
17.27%
32.76%