September 1, 2024

පසුගිය මාසයේ පවත්වන ලද වන අලි සංගණනයේ දත්ත වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට විශ්ලේෂණය කරමින් සිටින බව වාර්තා වේ.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර පවසා ඇත්තේ විශ්ලේෂණ ක්‍රියාවලියට කාලය ගතවන බැවින් අවසාන ප්‍රතිඵල මාස 3-4කින් පමණ ලබා ගත හැකි බවයි.

ඔහු ඉදිරි ප්‍රතිඵලවල වැදගත්කම ද අවධාරණය කර තිබේ.

“අපි මෙම තොරතුරු කළමනාකරණ අරමුණු සඳහා භාවිත කරනවා. අපගේ උපාය මාර්ග ශෝධනය කිරීමට අවශ්‍ය දැයි තීරණය කිරීමට එය අපට උපකාරී වෙනවා” යනුවෙන් ඔහු ප්‍රකාශ කර තිබේ.

සූරියබණ්ඩාර සඳහන් කර ඇත්තේ වත්මන් සංගණන සොයාගැනීම් 2011 සමීක්ෂණයේ දී මෙන් පිරිමි සහ ගැහැණු අලි අනුපාතය, ගහන ව්‍යුහය සහ අනෙකුත් අදාළ සාධක වැනි ප්‍රධාන අංශ කෙරෙහි අවධානය යොමු කරනු ඇති බවයි.

පසුගිය අගෝස්තු 17 වන දින ශ්‍රී ලංකාවේ දීප ව්‍යාප්ත වන අලි සංගණනයක් පවත්වන ලද්දේ වසර 13ක විරාමයකින් පසුවය.

සංගණනයේ අරමුණ වන්නේ සංරක්ෂණ ප්‍රයත්නයන් සහ වනජීවී කළමනාකරණය සඳහා තීරණාත්මක දත්ත සැපයීමයි.

සමීක්ෂණය යටතේ තෝරාගත් තැන් 2,500ක් ආවරණය කෙරුණු අතර වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, අනෙකුත් රාජ්‍ය ආයතන, ආරක්ෂක හමුදා, පෞද්ගලික අංශයේ සේවකයන්, උසස් අධ්‍යාපන සිසුන් සහ ස්වේච්ඡා සේවකයන් ඊට සහභාගී වී තිබිණි.

ඔවුන් සියල්ලන්ම ආරක්ෂාව සඳහා පුහුණු කර අධීක්ෂණය කර තිබේ..

2011 දීප ව්‍යාප්ත සංගණනයට අනුව ශ්‍රී ලංකාවේ අවම වශයෙන් අලි ඇතුන් 5,879ක් වාර්තා වී තිබූ අතර, වැඩිහිටි අලි 55.09%ක්, තරුණ අලි 25.03%ක්, පැටවුන් 12.04%ක් සහ කුඩාම පැටවුන් 6.04%ක් එහිදී වාර්තා වී තිබිණි.